17072024Wed
Last update:Wed, 08 May 2024

ගම්බද මාර්ග දියුණුවට ඩොලර් මිලියන 900ක්

village roadඅමෙරිකානු ඩොලර් මිලියන 900කට වැඩි අති විශාල මුදලක් වියදම් කොට ගම්බද මාර්ග කිලෝමිටර් තුන්දහසකට සහ ජාතික මාර්ග කිලෝමීටර් දෙසියපනහකට අධික ප්‍රමාණයක් වැඩි දියුණු කිරීමේ අට අවුරුදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට තිබේ.

මේසා විශාල මුදලක් වැය කොට ග්‍රාමීය මාර්ග හා ආසන්නතම නාගරික මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සෘජුවම ගමේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට හේතුවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසීය.

මේ ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව අදියර 06ක් යටතේ ණය මුදල් ලබාදීමට ප්‍රතිඥා දී තිබේ. ඉන් පළමු අදියර සඳහා වූ අමෙරිකානු ඩොලර් 200 මුදලට අදාළ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී සිදු කළ අවස්ථාවේදී ලේකම්වරයා මේ බව කීය.

මෙම වැඩසටහනෙහි සම්පූර්ණ වියදම අ.ඩොලර් මිලියන 906ක් වන අතර ඉන් අ.ඩොලර් මිලියන 800ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අදියර 6ක් යටතේ ලබාදීමට එකඟතාව පළ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ මුළු ආයෝජනය අ.ඩොලර් මිලියන 106කි.

දකුණු පළාත, සබරගමු පළාත හා බස්නාහිර පළාත, මධ්‍යම පළාත, උතුරුමැද පළාත හා වයඹ පළාත යන පළාත්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 5ක් ඔස්සේ ජාතික මාර්ග, පළාත් මාර්ග, ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළුව ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම සමස්ත වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර සහ දෙවන අදියර සඳහා අ.ඩොලර් මිලියන 207ක මූල්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් අතර පළමු අදියර යටතේ දකුණු පළාත තුළ ග්‍රාමීය මාර්ග කි.මී.560ක් සහ ජාතික මාර්ග කි.මී. 130ක් වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීමට අපේක්ෂිතය.

දෙවන අදියර මඟින් සබරගමු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත, උතුරුමැද පළාත හා වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන අතර එමඟින් ප්‍රාදේශීය සභා සහ පළාත් මාර්ග ඇතුළු ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කි.මි. 2548ක් සහ ජාතික මාර්ග කි.මි. 118ක් වැඩිදියුණු හා නඩත්තු කිරීම සිදු කෙරෙනු ඇත.

මෙම වැඩසටහනෙහි තෙවන අදියර සඳහා සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 223.88කි. ඒ සඳහා රජයේ දායකත්වය ඇ. ඩොලර් මිලියන 23.88ක් වන අතර ඉතිරි ඇ. ඩොලර් මිලියන 200 ක මුදල ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ගිවිසුම් දෙකක් ඔස්සේ ලබාගැනීමට අපේක්ෂිතය.