06052024Mon
Last update:Thu, 18 Apr 2024

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනය අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද කථාව

president msgsgjgg format 1140x4991 1140x499 1140x499(2015-09-02 – පොළොන්නරුවේදී)

  • මම වේගවත් ගමනක් ආ කෙනෙක් නොවෙයි. ඉදිරියට යන ගමනත් වේගවත්ව යන කෙනෙක් නොවෙයි. නමුත් ඒ සෙමින් යන ගමන ආපසු හරවන්න කිසිසේත් සූදානම් නැහැ.
  • ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පූර්ණ ප‍්‍රතිසංවිධානයක් අවශ්‍යයි.
  • රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතුණත්, දේශපාලන ක‍්‍රමය දිගින් දිගටම පිරිහී තිබෙනවා.
  • පක්ෂවල ජයග‍්‍රහණය, පරාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට අවශ්‍යයි.

අද ඔබ අප සියලූදෙනා එක්වෙලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර මහ උලෙළ පවත්වන අවස්ථාව. පක්ෂයේ ලේකම්වරයා ඔබව පිළිගත්තත් පොළොන්නරුවට පැමිණි ඔබ මා විසින් පිළිගැනීම මගේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකනවා.

මා අදරය කරන මගේ ප‍්‍රදේශයට පැමිණි ඔබ සියලූ දෙනාම ඉතා ගෞරවයෙන්, ආදරයෙන් සහ භක්තියෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා.
මිත‍්‍රවරුනි, අද 64 වන සංවත්සර මහා උලෙළ පවත්වන විට මගේ සිතේ 63 වන සංවත්සර උලෙළ පිළිබඳව මතකය අවදි වුණා. අපි 63 සංවත්සර උළෙල පැවැත්වුවේ වයඹ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන වෙලාවේ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ.

අවුරුද්දක් තුළ සිදුවූ වෙනස්කම් තිබෙනවා. නමුත් 63 සංවත්සර උළෙලේ එකම වේදිකාවේ සිටි අප හැම කෙනෙක්ම 64 වන සංවත්සර උලෙළේ එකම වේදිකාවේ ඉන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා මෙය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වගේම මුළු මහත් රටේම දේශපාලන අනාගතය පිළිබඳ ඉතාම සුබවාදි සිද්ධියක් කියලා.

මහාචාර්ය සරත් විජේසුරිය මැතිතුමා පක්ෂයේ ඉතිහාසය සහ සදානුස්මරණීය මතක සටහන් වෙත ඔබ අප කැඳවාගෙන ගියා. බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ සිට පක්ෂයට නායකත්වය දුන් ඒ සෑම කෙනෙක්ම සහ ඒ එක් එක් යුගයන් පිළිබඳ අපේ මතකය අවදි කළා. අපි අද සිටින්නේ 1956 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 1970 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 1994 යුගයේ නොවේ. අපි අද සිටින්නේ 2005 යුගයේ නොවේ. එක් එක් කාල පරිච්ඡේද තුළ ලෝකය වේගයෙන් වෙනස්වන විට අපේ රටත් වෙනස් වී තිබෙනවා. ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ජනතාවගේ ප‍්‍රශ්න, ජාත්‍යන්තරයේ ගැටලූ, අන්තර්ජාතික ප‍්‍රවනතා, ආර්ථික බලවේග, සංස්කෘතික බලවේග, තාක්ෂණික වෙනස්කම් මානව සමාජයේ ප‍්‍රගමනය ස`දහා තිබෙන්නා වූ නව ගමන් මග සමග වෙනස් වී තිබනවා.

ඒ වෙනස් වන ලෝකයට අපේ රට ඒ ආකාරයෙන් ඉදිරියට යා යුතු වෙනවා. රට එසේ වෙනස් කරන්නට ලෝකයේ තවත් රටකට දෙවැනි නොවන ආකාරයට ඔබේ අපේ උතුම් මාතෘ භූමිය පුබුදුවන්නට, පෙරට ගෙන යන්නට අපේ රටේ දේශපාලන වෙනස්කම් සිදු කළ යුතු වෙනවා. ඒ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක් එක් යුගයන්හි මුහුණ දුන් අභියෝග, ගැටලූ සහ දේශපාලන ප‍්‍රවනතා මෙන්ම ආර්ථික අභියෝග හඳුනාගත්තා සේම අද දවසේ අපට තිබෙන්නා වූ අභියෝග අප විසින් හඳුනාගත යුතු වෙනවා.

ඒ නිසා ශක්තිමත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක් මේ රටේ ගොඩනගන්නට ඔබ සියලූදෙනාටම මම සහෝදරත්වයේ දෑත් දිගු කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක දේශපාලන පක්ෂ මැතිවරණවලට ඉදිරිපත්වීම ජයග‍්‍රහණය කිරීම, පරාජය වීම අරුම පුදුම දෙයක් නොවේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය තුළ තිබෙන්නා වූ ප‍්‍රධාන ලක්ෂණයක්. ආණ්ඩු සැදීම, ආණ්ඩු වෙනස්වීම. නායකයින් පත්වීම, දේශපාලන ප‍්‍රතිපත්ති හා දර්ශන එක් එක් යුග අනුව පරිවර්තනය වීම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක මූලික සිද්ධාන්තයන්.

ඒ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් ලෙස ගොඩනගන්නටත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත මේ රටේ පවත්වන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත්, ජනාධිපතිවරණයේදීත් ජයග‍්‍රහණය කරවන්නටත් ඔබ අප සියලූදෙනාම සහෝදරත්වයෙන් ඒකරාශි වෙලා සියලූ බලවේග ඒකරාශි කරන්නට ඔබ අප සියලු දෙනාටම වගකීමක් තිබෙනවා.

ඒ වගකීම සහ යුතුකම ඉටු කිරීම පහසු කාර්යයක් නොවේ. ප‍්‍රධාන වශයෙන් අපට තිබෙන්නා වූ ප‍්‍රශ්න, ගැටලූ සහ අභියෝග තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. මේ රටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බලයට පත් කළ සෑම අවස්ථාවකම එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ එක් එක් සෑම යුගයන් තුළම මතු වූ අභියෝගවලදී ජාතියේ ඉදිරි ගමන සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදිහට ගතයුතු, ගතහැකි කි‍්‍රයාමාර්ග ඒ නායකයින් සෑම විටම අරගෙන තිබෙනවා.

ඒ ගත්තා වූ තීන්දු තීරණ සමග අපි රටක් විදියට ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඉදිරියට පැමිණි ගමනේදී ඔබ අප සියලූ දෙනාට බොහෝ අත්දැකීම් තිබෙනවා. මා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රටේ අනාගතය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙලේදී ඉතා පැහැදිළිව සඳහන් කළා මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් වරින් වර රට පාලනය කළ ආකාරය. ඒ වරින් වර රට පාලනය කළ අකාරය තුළ රටේ ගමන් මගෙහි වෙනස්කම් ඇති කරමින් රට ඉදිරියට පැමිණීම සිදු වුණා. නමුත් මේ රටේ දේශපාලන සංස්කෘතිය 50 දශකයේ සිට මේ දක්වාම පිරිහෙමින් පැවතුණා. ඒ නිසා දේශපාලනඥයා පිළිබඳ බොහෝ වෙලාවට සමාජයේ තිබූ ගෞරවය දේශලපාලනඥයන් විසින් කෙළසා ගනු ලැබුවා. පාර්ලිමේන්තුව ද, පළාත් සභාව ද, පළාත් පාලන ආයතන ද මේ මහජන නියෝජත ආයතන තුළ දේශපාලඥයින් තුළ තිබිය යුතු චරිත ලක්ෂණ, පෞරුෂත්වය තුළින් සමාජයට දිය යුතු පණිවිඩය මේ වාණිජ සමාජය තුළ ජනතාවට සතුටු විය නොහැකි ආකාරයට පරිහානියට පත් වුණා.

අපි රටක් විදියට ගත් විට නිදහසින් පසු ලංකාව වේගවත් විදියට ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් අවුරුදු 30 කට ආසන්න මිලේච්ඡු ත‍්‍රස්තවාදි යුද්ධය නිසා පසුබෑම් ඇති වුණා. ඒ පසුබෑම් ඇතිවුණත් නැවත අපිටම පුළුවන් වුණා අපේම රජයක් තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ යුද්ධය අවසන් කර මේ රටේ සාමය ඇති කරන්න. මේ සමග අප ඉදිරියට ආ ගමනේදී අද රටේ ජනතාව දේශපාලන පක්ෂ දෙස බලන්නේ කොයි ආකාරයටද? රටේ ජනතාව දේශපාලනඥයා දෙස බලන්නේ කොයි ආකාරයටද? මේ 64 වන සංවත්සර උලෙළේදී ඊළග ආණ්ඩුවක් හදන්න පැහැදිළිවම වැඩ කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට අපි සෑම කෙනෙක්ම පසුගිය දශක කිහිපයක් තුළ විශේෂයෙන්ම 70 දශකයේ අග භාගයේ සිට ඇති වූ දේශපාලන පිරිහීම් සමග අපේ රටට අවශ්‍ය ගුණාත්මක දේශපාලනය, උසස් ප‍්‍රමිතියක දේශපාලනය පිළිබඳ අපි දැඩි ලෙස අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි කියන එක මම විශ්වාස කරනවා.

ඔබ අප දන්නවා මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් අවසන් වූ විට අපේ රටේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ තිබෙන අපකීර්තිමත් ඉතිහාසය. අපි ප‍්‍රධාන වශයෙන්ම වෛරී දේශපාලනයක් තුළ දේශපාලන පක්ෂ විදියට කටයුතු කළ ආකාරය. ගමේ මළ ගෙදර, පන්සලේ පිංකම, ගමේ පොදු කාර්යයන් ඒ සියල්ල කරන්නට ගිය විට පක්ෂ විදියට අපේ දේශපාලන මතිමතාන්තර බොහෝ වෙලාවට අපේ ගමේ පොදු කටයුතුවලට ගිලා බැසලා අප කළයුතු දේ මෙන්ම අපි නොකළ යුතු දේ ඇතැම් වෙලාවට අප අතින් සිදු වුණා.

ලෝකයේ සංවර්ධනය වූ රටවල, දේශපාලන පක්ෂ ක‍්‍රමය පවතින රටවල අද ආණ්ඩු වෙනස් කරන මැතිවරණවලට මුහුණ දෙන ආකාරය, ආණ්ඩු වෙනස් වූ විට ඒ මැතිවරණ ප‍්‍රතිඵලය භුක්ති විදිනා ආකාරය, ආණ්ඩුව හැදීමෙන් පසුව සියලූදෙනා එකට එකතුවෙලා ඒ රට සංවර්ධනය කරන ආකාරය අපි මේවා පිළිබඳ පැහැදිළි අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂ අතරේ තිබෙන වෛරී දේශපාලනය මේ රටින් තුරන් කිරීම සදහා ඉතාම සුදුසු යුගය මේ යුගය ලෙස මා පැහැදිළිවම දකිනවා.

මම ප‍්‍රධාන වශයෙන් කරුණක් කියන්න ඕන, ඇතැම් වෙලාවට වර්මතමාන ජනාධිපතිවරයා ලෙස, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මගේ වැඩකටයුතු පිළිබඳ කරනු ලබන ඇතැම් විවේචන වලදි මම බොහෝම පැහැදිළිව කියන්න ඕන මම වේගවත් ගමනක් ආ කෙනෙක් නෙවෙයි, ඒ වගේම මම ඉදිරියට යන ගමන වේගවත්ව යන කෙනෙක් නෙවෙයි. මම සෙමින් ගමනක් යන කෙනෙක්. ඒ සෙමින් යන ගමන ආපසු හරවන්න මම කිසිසේත්ම ලෑස්ති නැහැ. ඒ සෙමින් යන ගමන රටේ අනාගතය සඳහා, අප අප සියලූදෙනා වගේම මේ රටේ සමස්ථයක් පොදු මහජනතාව වෙනුවෙන් සියලූ දේශපාලන බලවේග හැකි පමණ ඒකරාශි කරගනිමින් රට වෙනුවෙන් එක ගමනක් යාමටයි මම උත්සහ කරන්නේ.

දශක කිහිපයක සිට අපේ දේශපාලන පක්ෂවල බෙදීම අපේ රුධිරයට එක්වෙලා තිබෙනවා. එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මැතිතුමා, ඞී.එස්. සේනානයක මැතිතුමාලා එකට එකතුවෙලා එක්සත් ජාතික පක්ෂය හැදුවා. පසුකාලීනව එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැදුවා. විශේෂයෙන්ම 50 දශකයේ සිට දේශපාලන පක්ෂ ක‍්‍රමය රටට ගලා එන විට ප‍්‍රබල දේශපාලන පක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෛරී දේශපාලනයක් කරා යොමු වෙන්නට පටන් ගත්තා. ඒ වෛරි දේශපාලනය මේ යුගයට කිසිසේත්ම නොගැළපෙනවා කියන එකයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ.

ඒ නිසා අපි මේ රට ගොඩනගන්න සියලූ දෙනාගේ එකතුවක් බලාපොරොත්තු වෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රට පාලනය කරන විට එක්සත් ජාතික පක්ෂය දොස් කියනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන විට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දොස් කියනවා. අපි දෙගොල්ලෝ එකතු වෙලා යම් කාලසීමාවක් හෝ එකට යන්නට මම ආරාධනා කරන්නේ මේ වෛරී දේශපාලනය තුරන් කරලා අප ඉදිරියේ ඇති ප‍්‍රධාන අභියෝගවලට මුහුණදෙමින් මේ රට ගොඩනගන්න අවශ්‍ය නිසයි.

ඒ නිසා මූලික වශයෙන්ම අපේ ගමන් මග පිළිබඳ අපි ඉතාම අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි. අපි පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යයනය කරන විට ඊළග ජයග‍්‍රහණයක් කරා යන්නට, ආණ්ඩුවක් හදන්නට අපි සුජාත දේශපාලන දරුවෙක් බිහි කරන්න ඕන. අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට අවුරුදු 20 ක් එක දිගට ආණ්ඩු කරපු පක්ෂයක් විදියට, අදත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ නායකත්වය තිබෙන පක්ෂය විදියට අපි ඉදිරි දේශපාලන ඉලක්ක සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පූර්ණ ලෙස ප‍්‍රතිසන්විධානය කිරිම අත්‍යාවශ්‍ය වෙනවා.

දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා පක්ෂය සම්පූර්ණයෙන් සංවිධානය කරලා නව පරපුරත් සමග නව ලෝකයේ නව සිතුම් පැතුම් අනුව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය නව මුහුණුවරකින් ගොඩනැගීම අවශ්‍ය වෙනවා. අපි පරාජයට පත් වූ කරුණු විශේෂයෙන් සැලකිල්ලට යොමු කිරීමේදී ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම සම්පූර්ණ කළ යුතු කරුණු මොනවද කියන එක අපි අවංකවම අපේ හෘදසාක්ෂියට එකඟව තෝරා බේරාගෙන අවබෝධකර ගැනීම ඉතා අවශ්‍ය වෙනවා.

ඒ නිසා අපට ප‍්‍රධාන වශයෙන්ම 64 වන සංවත්සර මහ උලෙළේ ඉදිරි කාල සීමාව තුළ ප‍්‍රධාන වගකීමක් පැවරෙනවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදියට පක්ෂයේ ප‍්‍රධානීන් ලෙස ඔබ සියලූ දෙනාට පක්ෂය පුර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කරමින් නව පක්ෂයක් ලෙස සම්පූර්ණයෙන් ජනතාවාදී පක්ෂයක් විදියට මේ රටේ සතර දිග් භාගයේ සිටින සිංහල, මුස්ලිම්, දෙමළ, මැලේ, බර්ගර්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඒ සියලූ ජන කොටස්වලට පිළිගත හැකි ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් විදියට මේ පක්ෂය ගොඩනගා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා අප සියලූදෙනා උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

අප ඉදිරියේදී තිබෙන අභියෝගවලට මුහුණ දෙමින් ජයග‍්‍රහණය කරා ගමන් කරන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව නව ප‍්‍රතිසංවිධානයකින්, අලූත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමේදී ඔබ අප සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් සහ මිත‍්‍රශිලීව කටයුතු කිරීම අත්‍යාවශයි කියන එක ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන.

අපිට රටක් විදියට මුහුණ දෙන්න තිබෙන විවිධ අභියෝගවලදී විශේෂයෙන්ම රටේ ආර්ථිකය, ජාත්‍යන්තර වශයෙන් එන නොයෙකුත් බලපෑම් ඒ සියල්ල එක්ක නිදහස්, අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ගොවි ජනතාවගේ ආර්ථිකය ප‍්‍රමුඛ සමස්ථ රටේ ජාතික ආර්ථිකය මේ සියල්ල එක්ව අරගෙන ඉදිරියට යන්නට අප සෑම කෙනෙකුටම පූර්ණ අවබෝධයක් තිබිය යුතුයි.
ඒ නිසා අපි සෑම කෙනෙක්ම 64 වන සංවත්සර මහ උලෙළේදී අපේ අවධානය යොමු කරන්නට ඕන මූලික වශයෙන් අපේ රට සහ ජනතාව ගොඩනගන්න අපි ඉදිරියට යන්නේ කෙසේද, ඒ සඳහා අපේ වගකීම් සහ යුතුකම් මොනවාද, ඒ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඉදිරියේදී ආණ්ඩු බලයක් ලබා ගැනීම සඳහා පක්ෂය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කරමින් අපේ ඉදිරි ගමන් මග සකස් කර ගන්නේ කෙසේද, මේ සියල්ලේදී අපි සහෝදරත්වයෙන්, බැඳීමකින් සහ මිත‍්‍රශීලි බවකින් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ සදහා ඔබ සියලූදෙනාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.