17072024Wed
Last update:Wed, 08 May 2024

නව කර්මාන්තශාලා 5000ක් රැකියා ලක්ෂ 10ක්

factoryලොව පිළිගත් මුල්පෙළේ සමාගම් 16ක් මෙරට ආයෝජනයට සැ‍රසේ

ඉදිරි පස් අවුරුදු කාලසීමාව තුළ නව රැකියා දස ලක්ෂයේ ඉලක්කය ජය ගැනීමට නව කර්මාන්ත ශාලා පන්දහසක් පිහිටුවීමේ දැවැන්ත කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ලොව පිළිගත් මුල්පෙලේ සමාගම් 16 සහ ආසියානු කලාපයේ සමාගම්වල නව ආයෝජන මෙරටට ආකර්ශනය කර ගැනීමේ මෙහෙයුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කොට තිබේ. ආසියානු කලාපයේ ආයෝජන හා ව්‍යාපාර පහසුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

ආයෝජන දිනාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට පවතින යල් පැනගිය සහ රළු අණපනත් සංශෝධනය කිරීම, ආයෝජකයින්ට මිතුරු කඩිනම් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා ආ‍යෝජන මණ්ඩලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු තම අමාත්‍යංශය යටතේ පවතින ආයතන පත්කරන බවට ඇමතිවරයා කීය.

ශ්‍රී ලංකාවට දැනට වසරකට පැමිණෙන සෘජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 2කට අඩුබව පැහැදිලි කළ ඇමැතිවරයා එය ඉදිරි දෙවසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කය

වී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා අනාවරණය කළේය.

රටපුරා විහිදුනු කර්මාන්තකරණයක් පිහිටුවීමට මුලපුරා ඇති බව පැහැදිලි කළ ඇමැතිවරයා වරාය, පුනර්ජනනීය බලශක්ති, යකඩ, වානේ, සිමෙන්ති, පොහොර වැනි බැර කර්මාන්ත සහ අගය එකතු කළ කෘෂිකර්මාන්ත හා තොරතුරු තාක්ෂණය යොදාගත් මානව සම්පත් සේවා කර්මාන්ත මේ යටතේ ආරම්භ කරන බව සඳහන් කළේය.