17072024Wed
Last update:Wed, 08 May 2024

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු.ලක්ෂ 50ක මුදල් තෑගි

colruk 9066180533828 3830633 16122015 svg cmyජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 50ක පමණ මුදල් තෑගි පිරිනැමීමට සූදානම් වෙයි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙල පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

සෑම වසරකම මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 74ක් ජාතික මහා ක්‍රීඩා උළෙලට වෙන්වන බවත් එම මුදලට වඩා අමතර කිසිදු මුදලක් වැය නොකළ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා මෙහිදී පැවැසීය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ මාධ්‍ය හමුවේදී ජාතික මහා ක්‍රීඩා උළෙල වෙනුවෙන් වෙනම තේමා ගීතකයක් හා වෙනම ලාංජනයක් හඳුන්වාදීමද විශේෂත්වයක් විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවන අතර අවසන් දින විශේෂ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිතය. අවසන් දින තුනේදී මලල ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉතා වර්ණවත් ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“සියලු කටයුතු අපට කඩිනමින් සංවිධානය කරන්න වුණා. ක්‍රීඩා නිලධාරීන්ගේ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් ක්‍රීඩා උළෙල පැවැත්වීම අවිනිශ්චිතව තිබුණේ. උදාහරණයක් ලෙස උතුරු මැද පළාතේ කිසිම තරගයක් පවත්වා තිබුණේ නැ. නමුත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කැපවීමෙන් ක්‍රීඩා තරග පැවැත්වීමට හැකි වුණා. මෙවර ලබාගත් අත්දැකීම් තුළින් අප විශ්වාස කරන්නේ මෙයට වඩා මේ ක්‍රීඩා උළෙල පළාත්වලට සමීප කළ යුතු බවයි. ලබන වසරේ මේ ජාතික ක්‍රීඩා උළෙල මෙයටත් වඩා සාර්ථකව පැවැත්වීමට හැකි බව විශ්වාසයි” ඇමැතිවරයා පැවැසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝමාගම අවට නේවාසික පහසුකම් සපයා ඇති බවත් ඔවුන්ගේ ආරක්ෂාව හා අවශ්‍යතා පිළිබඳ වෙනම කමිටුවකින් අධීක්ෂණය කරන බවත් ඇමැතිවරයා පැවැසීය. ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු තරග හැර සියලු තරග මේ වනවිට අවසන්ව ඇති අතර කාන්තා පාපන්දු තරග ප්‍රතිඵල විරෝධතාවක් හේතුවෙන් අත්හිටුවා ඇත.

මලල ක්‍රීඩා අවසන් ඉසව්වල ප්‍රතිඵල හැරුණු කොට බස්නාහිර පළාත රන් පදක්කම් 67ක් දිනා ප්‍රථම ස්ථානයේ සිටින අතර මධ්‍යම පළාත රන් පදක්කම් 44ක් දිනා දෙවැනි ස්ථානයේ පසුවේ. තෙවැනි ස්ථානය රන් පදක්කම් 15ක් දිනූ උතුරු මැද පළාත, සිවුවැනි ස්ථානය රන් පදක්කම් 13ක් දිනූ දකුණු පළාත, පස්වැනි ස්ථානය රන් පදක්කම් 11ක් දිනූ වයඹ, හයවැනි ස්ථානය රන් පදක්කම් 7ක් දිනූ සබරගමුව පළාත, හත්වැනි ස්ථානය රන් පදක්කම් 4ක් දිනූ ඌව පළාත හා අටවැනි ස්ථානය රන් පදක්කම් 4ක් දිනූ නැඟෙනහිර පළාත හිමිකරගෙන ඇත. රිදී පදක්කම් 2ක් දිනා සිටින උතුරු පළාත නවවැනි ස්ථානයේ පසුවේ.

මේ ක්‍රීඩා උළෙලේදී උතුරු පළාතට මීලඟ ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමේ සත්කාරකත්වය පිරිනැමීමද සිදුවේ.