12032025Wed
Last update:Tue, 07 Jan 2025

වසරේ මුල් මාස පහේ කෝටි 2500ක නව ආයෝජන ව්‍යාපෘති 42ක්

investment 380මේ වසරේ ජනවාරි - මැයි මුල් මාස පහ තුළ රුපියල් කෝටි 2500කට ආසන්න නව ආයෝජන ව්‍යාපෘති 42කට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් තබා තිබේ.

රුපියල් කෝටි 1773ක් දේශීය ආයෝජන වන අතර, රුපියල් කෝටි 684ක් විදේශීය ආ‍යෝජන වේ. මේ නව ව්‍යාපෘති ආරම්භ වීමත් සමඟ සෘජු රැකියා 5100ක්, වක්‍ර රැකියා 15,000 ස්ථාපිත වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් මුදල් ආයෝජනයට නොපැමිණි නව ආයෝජකයෝ 36 දෙනෙකු මෙවර ආයෝජන ගිවිසුම්වලට එළැඹ තිබීම සුවිශේෂී කරුණකි. ගිවිසුම් අස්සන් කළ ආයෝජකයෝ අතුරින් 6 දෙනෙකු දැනට රට තුළ පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කිරීමට ඉදිරිපත් වී ඇත.

කුඩා විදුලි බලාගාර, මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති, සංචාරක හෝටල ඉදිකිරීම, ඇඟලුම් කර්මාන්ත ශාලා, මහල් නිවාස ව්‍යාපෘති, රෝහල්, සැටලයිට් රූපවාහිනි විකාශන නව ආයෝජන සමඟ රට තුළ ක්‍රියාත්මක වනු ඇත.

ඊට අමතරව වැවිලි කර්මාන්ත අංශය, විනෝදාස්වාදය ඉලක්ක කළ ව්‍යාපෘති ද ගිවිසුම්වලට එළැඹ ඇතැයි ආයෝජන මණ්ඩලය පවසයි.

අපනයනය ඉලක්ක කළ ඇඟලුම් කර්මාන්ත අංශයෙන් සෘජු රැකියා 2320ක්, සංචාරක හෝටල් සේවා අංශයෙන් 750ක් ඇතිවේ.

මේ අන්දමට නව විදේශ ආයෝජන රට තුළට පැමිණීම ගත වූ මුල් මාස පහේ රටේ ආර්ථික, ආයෝජන හා මූල්‍ය කළමනාකරණයේ ප්‍රගතිය කියාපාන තත්ත්වයක් බව ද ආයෝජන මණ්ඩලය පවසයි.