23112024Sat
Last update:Wed, 20 Nov 2024

2016 ආර්ථිකය කොහොමද?

06 2016 01තව දින 24කින් 2016 වසර එළැඹේ. ලබන වසරේ ලෝක ආර්ථික කේන්දරය කවර ස්වරූපයක එකක්දැයි දැන් දැන් අනාවැකි පළවේ. බොහොමයක් අනාවැකි පළකරන්නේ ශ්‍රී ලකාවේ මෙන් නැකැත් කරුවන් නොව ආර්ථික විද්වතුන් විසිනි.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා අරාබි ලෝකය පමණක් නොව, යුරෝපීය ශක්තිම ත් ආර්ථිකයන් පවා අනතුරට ලක්ව ඇති බව එක මතයකි.අරාබිකරයේ තෙල් නිපදවන රටවල දේශපාලන අර්බුද තවත් උත්සන්න වනු ඇතැයි තවත් අනාවැකියකි. චීන ආර්ථිකයේ හැකිලීමක් වනු ඇති බවත් එය ලෝකයටම බලපානු ඇතැයි යන්නත් තවත් මතයකි.

ජාත්‍යන්තර මූල්‍ය සඟරා බොහොමයක් දැන් සාකච්ඡා කරන්නේ 2016 ආර්ථිකය යි. ශක්තිමත් ආර්ථිකයක් සහිත රටවල දුර්වල වෙතත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවලට එය තදින් බලපායි‍.

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ පිළිබඳව අදහස් පළ කෙළේය. ඔහු පැවසුවේ එවැනි තත්ත්වයක් උදාවුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උපකාර ලබා ගැනීම ගැන සිතාබලන්නට සිදු වන බවයි. එසේ නැතිව අගමැතිවරයා එම අරමුදලෙන් ආධාර උපකාර ඉල්ලා සිටියේ නැත.

එතෙක් අගමැතිවරයාගේ ප්‍රකාශයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ රයි ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී ප්‍රතිචාර දැක්වීය.

රොයිටර් සේවය 04වන දා පළ කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ තතත්වය පිළිබඳ අන්තර් ජාතික මූල්‍ය අරමුදල විමසිල්ලෙන් සිටී. ශ්‍රී ලංකාව නිල වශයෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි ද ගෙරී රයි සිය ප්‍රකාශයේ කියා තිබේ. එසේම 2009 - 2011 කාලය තුළ අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඇ. ඩොලර් බිලියන 2.6ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන් බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

ලබන 2016 වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටිනා ලගාඩි මහත්මිය ද කරුණු දක්වා තිබේ.

ඇයද පවසන්නේ ලබන වසරේ ලෝක ආර්ථිකයේ යම් පසුබෑමක් සිදුවීමට ඉඩ ඇති බවයි. සංවර්ධනය වන රටවල කෘෂි නිෂ්පාදන මිල ගණන් අඩුවීමෙන් එම රටවල ආර්ථිකයට හානි සිදුවිය හැකි බව ද ඇය කියා තිබේ.

යුරෝපීය සහ ඇමෙරිකා ජනතාව ආර්ථික හා මූල්‍ය ලිපි හා විමර්ශන පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වෙති. අ‍ෙමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ලබන වසරේ ආර්ථික අස්ථාවරත්වයකට බෙහෙවින් ඉඩකඩ ඇති බවය. එයට ඇමෙරිකාව වගකිවයුතු යැයිද එම පුවත්පතේ පළවූ ලිපියක සඳහන් වේ.

2016 අයවැය විවාදය තවම පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවී තිබේද නැද්ද යන්න පසුගිය සතියේ අයවැය විවාදයේ ඉහළින්ම කැපී පෙනුනි.

රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබේ නම් එම රට අස්ථාවරය. රටක දේශපාලන අස්ථාවරත්වය, විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය ආදියට එය බලපායි. අය වැය විවාදයේදී ලොකු ලොකු තුවක්කු සමඟ පොඩි තුවක්කු ද එකට පත්තු වුණු නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් සංචාරක කර්මාන්තයට නම් තිබී නැත. හේතුව නොවැම්බරයේ සංචාරක සංඛ්‍යාව වැඩිවී තිබීමයි. 2015 නොවැම්බර් සංචාරක පැමිණීම නිසා ගිය වසරට වඩා 20%ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

මේ වසරේ නොවැම්බරය දක්වා බටහිර යුරෝපීය රටවලින් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 489914 කි. එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරක වැඩිවීම 31% ක වර්ධනයකි. නොවැම්බරයේ විදේශ වත්කම් ප්‍රමාණයද වැඩිවී තිබේ.

අය වැය යෝජනා කීපයක් සංශෝධනය වූ අතර තවත් යෝජනා සංශෝධනය වීමට ඉඩ ඇත. අය වැය යෝජනා යනු සැතපුම් කණු, කිලෝමීටර් කණු මෙන් කිසිදා වෙනස් කළ නොහැකි ඒවා නොවේ. අය වැය යෝජනා වෙනස් වූ අවස්ථා ඕනෑ තරම් තිබේ.

රටක සංවර්ධනයේදී ගමනා ගමනය හා ප්‍රවාහනය අත්‍යවශ්‍ය සාධකයකි. වසර 116 ක් පැරැණි කැලණිවැලි දුම්රිය සේවාව වැඩි දියුණු කිරීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 1500ක් වැය කිරීමට නියමිතය.

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කි. මී. 58.98කි.‍ මේ දුර ප්‍රමාණය ගමන් කිරීමට දැන් සාමාන්‍යයෙන් යම් දුම්රියක් පැය 3.00කට ආසන්න කාලයක් වැය කරයි. ඒ අනුව බලන කල දුම්රියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 20ක් පමණය. වත්මන් ලෝකයේ දුම්රිය ගමනාගමනයේ වේගය පැයට කිලෝමීටර් 300 ඉක්මවා තිබේ. එවැනි දුම්රියකට මෙය විනාඩි 10 – 15 ක ගමනකි. පැයට කිලෝ මීටර් 60 ක වේගයෙන් යන දුම්රියට වුවද, මෙය පැයක ගමනකි.

කැලණි දුම්රියේ මගියකු වන සුගතපාල හේරත් මහතා වසන්නේ “පන්නිපිටිය දුම්රියපොළට උදේ 8.05ට ලඟාවන මගී දුම්රිය කොටුව දුම්රියපොළට ළඟාවන විට උදෑසන 9.15 පමණ වන බවයි. පන්නිපිටිය සිට කොළඹ කොටුව දක්වා ඇති දුම්රිය ස්ථාන 09 ගෙවීමට පැයකටත් අධික කාලය ගතවේ.

පසුගියදා කැලණිවැලි දුම්රියේ නිල චාරිකාවක යෙදුණු ගමනා ගමන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගමන් කළ දුම්රියේ වේගය කුමක්දැයි නොදනිතත්, ඇමැතිවරයා සිය නිරීක්ෂණයෙන් පසු කියා තිබුණේ ද දුම්රියේ ගමන් වේගය වැඩිකිරීම සඳහා ඇති බාධා දුරලීමට පියවර ගන්නා බවයි.

කැලණිවැලි දුම්රියේ දිනපතා කොළඹ රැකියාවට එන සේවක සේවිකාවනට නම් මේ දුම්රිය සේවාව වැඩි දියුණු කිරීමේ අගය නැවත කියා දෙන්නට වුවමනා නැත. එය ඒතරම් දුරට අත්‍යවශ්‍ය සංවර්ධනාත්මක කටයුත්තකි.

කැලණිවැලි දුම්රිය මාර්ගය 1900 - 1902 කාල‍ෙය් දී ඉදිකරන ලද්දේ කැලණි ගංගා මිටියාවතේ තේ, රබර්, වගාවනට අවශ්‍ය ප්‍රවාහන කටයුතු කඩිනම් කරනු සඳහාය. ඊට පෙර මේ සැපයුම් කරන ලද්දේ බරකරත්ත මඟිනි.

ඓතිහාසික වාර්තා සඳහන් කරන අන්දමට කැලණිවැලි දුම්රිය මාර්ගයේ ආරම්භක පියවර කොළඹ අවිස්සාවේල්ල, ඔස්සේ යටියන්තොට නගරයයි. දෙවන පියවර අනුව 1912 දී අවිස්සාවේල්ල සිට රත්නපුර ඔස්සේ ඕපනායක දක්වා තවත් විහිදුමක් ගමනා ගමනයට හා ප්‍රවාහනයට එක්විය.

අනතුරුව ඇරැඹුණේ කැලණිවැලි දුම්රිය සේවාවේ කප්පාදු යුගයයි. අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වූ කොටස 1942 දී කප්පාදු කරන ලදී. ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටස 1973 දී අතහැරදමන ලදුව, දුම්රිය මාර්ගය සෝදාපාළුවට ලක්විය. අනතුරුව හෝමාගම සිට කොළඹ කොටුව දක්වා පමණක් කැලණිවැලි දුම්රිය ධාවනය වන යුගය ඇරඹිණ.

කැලණිවැලි දුම්රිය යළි ඉපැදුනේ 1978 දීය. එවර එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා යළි ධාවනය වීම ඇරැඹුණ අතර මගී දුම්රිය සේවාව ද වැඩි කර දුම්රිය ස්ථාන ද ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලදී‍. එසේම අඩි 2.6ක් වූ පුංචි කෝච්චි පාර අඩි 5.6ක් වූ පුළුල් මහ කෝච්චි පාරක් බවට යළි සකස් කිරීම ද 1996 දී නිම කරන ලදී.

දුම්රිය ධාවන අංශයට සම්බන්ධ සේවක මහතෙක් කීවේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය ද්විත්ව මාර්ගයක් නිර්මාණය කිරීම කැලණිවැලි දුම්රියේ ගමන් වේගය පිළිබඳ බාධාවක්ව පවතින බවයි. මේ නිසා කොළඹ සිට අවිස්සාවේල්ල අතර යන සහ ආපසු එන දුම්රියට එකිනෙක මාරුවීම ධාවනය අඩාලවන්නකැයි ඔහු පවසයි.

කැලණිවැලි දුම්රිය මාර්ග තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඇති එක් බාධාවක් නම් එම දුම්රිය මග දෙපස පදිංචි අනවසර නිවාස හිමි පිරිසය. විශේෂයෙන් නාවින්න සිට බෙස්ලයින් දක්වා දුම්රිය මඟ දෙපස එබඳු පවුල් රාශියක් පදිංචිව සිටිති. කලක් ගමනා ගමන අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගාමිණී විජේසේකර මහතා මේ පිළිබඳ වාර්තාවක් ද සකස් කළ අතර එමඟින් නිර්දේශ කර තිබුණේ එම අනවසර පදිංචි ස්ථානවලින් ඉවත් කළ යුතු බවයි.

වත්මන් ගමනා ගමන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ එම අනවසර පදිංචිකරුවන් මහ මඟට ඇද නොදමා දුම්රිය දෙපාර්ත‍ෙම්න්තුවට අයත් ඉඩම් 04ක නිවාස තනා ඔවුන් පදිංචි කරවන බවයි. ‍ෙම් පිරිස පවුල් 1600කි. දැනටම එම ඉඩම් ද හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

එසේම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 14ක් සහ උප දුම්රිය ස්ථාන 10ක් ද අලුත්වැඩියා කිරීමට නියමිතය. විශේෂයෙන් එම දුම්රිය ස්ථානයන්හි දුම්රිය වේදිකා දික් කිරීමත්, උස වැඩි කිරීමත් ඒ අනුව සිදුවේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව 32 කි. පහසුකම් විරහිත දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන රාශියක් පිහිටා ඇත්තේ පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වාය. ඒ අතර ඇති දුම්රිය ස්ථාන 16ක නම් වශයෙන් කිවහොත් මොරකැලේ අවිස්සාවේල්ල දක්වා ඇති වග, කොස්ගම, අලුත්අම්බලම, මිරිස්වත්ත, හිඟුරල, පුවක්පිටිය නගරයන්හි දුම්රිය පොළවල් ඉතාම නොදියුණු තත්ත්වයක පවතී.

ඇමැතිවරයා පවසා ඇත්තේ මේ සංවර්ධන කටයුතු ඉදිකිරීමට දුම්රිය දෙපාර්ත‍ෙම්න්තුව සතු මානව සම්පත් හා භෞතික සම්පත් ප්‍රමාණවත් නොවේ නම් පෞද්ගලික අංශය ද සහාය කැරගෙන විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් යුතුව ඔවුනගේ සහායෙන් මේ කටයුතු ඉෂ්ට කරන බවයි.

කැලණිවැලි දුම්රිය මාර්ගය ඉතා ජනාකීර්ණ එමෙන්ම දියුණුවන නගර රාශියක් එකට එකතු කරන්නකි. දුම්රියෙන් එදිනෙදා ගමන් කරන මේ පිරිස් නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, මීගොඩ, පාදුක්ක, වග, කොස්ගම සහ අවිස්සාවේල්ල යන නගර ආශ්‍රිතව ජීවත්වන්නෝය. මේ හැර අවිස්සාවේල්ල අවට බොහෝ ජනයා සිය නිෂ්පාදන අගනුවරට ප්‍රවාහනය කිරීමේදී ද කැලණිවැලි දුම්රිය භාවිතා කරති.

මොවුන් හැම දෙනාම නඟන චෝදනාවක් නම් කැලණි වැලි දුම්රියේ ධාවනය වන දුම්රිය සංඛ්‍යාව ද ප්‍රමාණවත් නොවන බවයි. උ‍ෙද් වරුවට ධාවනය වන දුම්රිය සංඛ්‍යාව වැඩිකරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

කැලණිවැලි දුම්රියේ ඉරිදා උ‍ෙද් 8.30ට කොළඹින් පිටත්ව දහවල් 11.19ට අවිස්සාවේල්ලට ලඟාවීමට නියමිත දුම්රිය මෑතක සිට විදේශ සංචාරකයන් අතර ජනප්‍රිය වෙමින් පවතී. එසේම ‍දේශීය වශයෙන් ද එය ජනප්‍රියයි. එම දුම්රියෙන් අවිස්සාවේල්ලට ගොස් එදිනම පස්වරුවේ එමගින්ම නැවත කොළඹට ඒමට දැන් බොහෝ දෙනා පුරුදුව සිටිති.


වසර 30 සපුරන කොටස් හුවමාරුව

“රටක ආර්ථික ශක්තිය හෙවත් ආර්ථික ශරීර සෞඛ්‍යය රඳා පවත්වා ගැනීමට, එම රටේ කොටස් වෙළෙඳ පොළ බෙහෙවින් බලපාන බව සිංගප්පූරුවේ ව්‍යාපාරික ලේඛකයකු හා ආර්ථික විශ්ලේෂකයකු වන වොන්ග් යී (WONG YEE) සිය කෘතියක පෙරවදනේ සඳහන් කර තිබේ. ඔහුගේ එම කියමන ශ්‍රී ලංකාවට ද අදාළ ය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගිය සතියේ සිය 30වන උපන් දිනය සැමරුවේ ය. එහිදී කතා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය ශක්තිමත් කර ඔවුන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනයට දිරිමත් කළ යුතු බව ය.”

කොළඹ කොටස් වෙළෙඳ පොළ 1985 පිහිටුවා ස්ථාපිත කළ නමුත්, එහි මුදුන් මුල් 1896 වර්ෂය තෙක් පැරණිය. එම වසරේ පිහිටුවා ගත් කොටස් වෙළෙඳ බ්‍රොකර්ස් ඇසෝසියේෂන් නම් ආයතනය ඒ වනවිට රට තුළ දලු දමමින් තිබූ යුරෝපීය වතු සමාගම්වල කොටස් විකිණීමට හා අලෙවි කිරීමට පිහිටුවා ගන්නා ලද්දකි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතියක් පහළවීමට හේතුවක් වූයේ වතුවගාවයි. වතු වගාවට සම්බන්ධ පිරිස් මෙන්ම, රේන්ද සහ මිනිරන් කර්මාන්තයට සම්බන්ධ මධ්‍යම පංතිය ද එදා ඉහත කී බ්‍රොකර්ස් ඇසෝසියේෂන් වෙතින් කොටස් මිල දී ගත්හ. කොටස් අලෙවි කළහ. ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වූහ.

එම ආයතනය 1904 දී කලම්බු බ්‍රොකර්ස් ඇසෝසියේෂන් නමින් ‍තවදුරටත් පුළුල් වූ අතර 1985 දී සියලු බ්‍රොකර් ආයතන එක් සෙවණකට එක්කොට කොළඹ කොටස් වෙළෙඳ පොළ පිහිටුවන ලදී. සෙසු මූල්‍ය කටයුතුවලට අමතරව කොළඹ කොටස් වෙළෙඳ පොළේ හුවමාරුවන්නේ සමාගම් 294කට අයත් කොටස් ය. මේවායේ වටිනාකම රුපියල් බිලියන 3005.69කි.

ශ්‍රී ලංකාවේ ඇත්තේ එකම එක කොටස් වෙළෙඳ පොළකි. එහෙත් වෙනත් රටවල ඊට වඩා වැඩි වෙළෙඳ පොළ සංඛ්‍යාවක දිනපතා ගනුදෙනු සිදු වේ.

උදාහරණ ලෙස ගතහොත් බංග්ලාදේශය තුළ චිතගොං කොටස් වෙළෙඳ පොළ සහ ඩකා වෙළෙඳ පොළ යනුවෙන් වෙළෙඳ පොළ දෙකකි. පකිස්ථානයේ කරච්චි, ලාහොර් සහ ඉස්ලාමාබාද් යන වෙළෙඳ මධ්‍යස්ථාන මැදිකරගත් වෙළෙඳ පොළ තුනක් ක්‍රියාත්මක ය.

මෑතක සිට ඇති වූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා චීනයේ ෂැන්හයි කොටස් වෙළෙඳ පොළ 1987 යළි විවෘත කරන ලදී. මේ හැර SHENZEN හි දෙවන කොටස් වෙළෙඳ පොළ විවෘත කරන ලදී. හොකොං කොටස් වෙළෙඳ පොළේ ද චීන අණසක ක්‍රියාත්මක වේ. එය ආසියාවේ වඩාත් ක්‍රියාත්මක වෙළෙඳ පොළකි.

වියට්නාමය හැනොයි සහ හෝචිං මිං යන වාණිජ මධ්‍යස්ථාන මැදි කරගෙන කොටස් වෙළෙඳ පොළ දෙකක් පිහිටුවා තිබේ. විදේශ ආයෝජන ඇදගැනීම සඳහා විශේෂ දායකත්වයක යෙදෙන වියට්නාම කොටස් වෙළෙඳ පොළ මේ වසරේ මැයි මස කරන ලද ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අනුව තායිවාන කොටස් වෙළෙඳ පොළ සහ කරච්චි කොටස් වෙළෙඳ පොළ පසුබාන පරිදි විදේශ ආයෝජනයට වැඩි පහසුකම් සලසා තිබේ.

වියට්නාම සමාගම්වල අයිතියෙන් සියයට 49 දක්වා කොටස් අයිතිය විදේශීය ආයෝජනයනට මිල දී ගත් හැකි පරිදි ලිහිල් කර ඇත. බැංකු අයිතිය පුළුල් කිරීම 30% දක්වා ලිහිල් කිරීමට දැන් සාකච්ඡා පවතී. එසේම තායිලන්ත කොටස් වෙළෙඳ පොළ සමඟ ඒකාබද්ධ වන වැඩපිළිවෙළක් ද සලකා බැලීමට නියමිතය.

කරච්චි කොටස් වෙළෙඳ පොළ 2009 සිට කලාපයේ හොඳම කොටස් වෙළෙඳ පොළවල් අතරින් ප්‍රමුඛ කාණ්ඩයට පත්විය. එසේම ආයෝජකයනට ලැබුණු ලාභය සියයට 26%කි. 2014 වසරේ කරච්චි කොටස් වෙළෙඳ පොළ ආසියාවේ හොඳම තුන්වන ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළට වැඩි වැඩියෙන් ආයෝජකයන් ආකර්ෂණය කැර ගැනීම සඳහා දැන් එය මහනුවර, මාතර, කුරුණෑගල, යාපනය, මීගමුව, අනුරාධපුර, රත්නපුර සහ හම්බන්තොට ශාඛා පිහිටුවා තිබේ. එසේම විවිධ සම්මන්ත්‍රණ ද ක්‍රියාත්මක ය.

පසුගිය කාලය පුරා කොළඹ කොටස් වෙළෙඳ පොළට එල්ල වූ චෝදනා මහත් රාශියකි. එසේම ආයෝජකයන් සතු කොටස් සහතික බුලත්විටි එතීමටවත් නොවටිනා තත්ත්වයට පත්වූ අවස්ථා ද තිබුණි. එහෙයින් මේ ආක්‍රමණික ක්‍රියාවනට හසු නොවීමට තම ආයෝජකයන් දැනුවත් කිරීම ද කළ යුතු කාර්යයකි.

එසේම ශ්‍රී ලංකාවට ඉදිරියේ දී තරග කරන්නට සිදුවන්නේ ෂැංහයි, කරච්චි සහ හැනෝයි යන ප්‍රතිමල්ලවයන් සමඟය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය සතියේද සාමාන්‍ය අයුරින් ක්‍රියාකාරී විය. අය-වැය වැඩි ඡන්ද 107කින් සම්මත වීමෙන් පසුව බ්‍රහස්පතින්දා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17කින් ඉහළ ගියේ ය. සිකුරාදා නැවත අඩුවිය.