28032024Thu
Last update:Mon, 04 Mar 2024

පැරදුණු මහින්ද ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගතයි

presi 01ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපවූ මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගත ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

බලය හිමිව තිබියදීත් තමා සහ අගමැතිවරයා සීමිත ආරක්ෂක පිරිසක සේවය ලබා ගන්නා බවත් ප්‍රභූ ආරක්ෂාව වෙනුවන් වැය වන විශාල ධනස්කන්ධයක් එමඟින් ඉතිරි කර ගැනීමට හැකිවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ බිබිල නගර මධ්‍යයේදී පෙරේදා (09) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනයට එක් වෙමිනි. මැතිවරණය පරාජයට පත්වූ නායකයෙක් හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් ගම්බිම් බලා යෑම ලෝකයේ කිසිඳු රටකින් වාර්තා නොවූවත් තමා මහින්ද රාජපක්ෂ මහතා පිටත් කර හැරියේ හෙලිකොප්ටර් යානාවලින් බව ජනාධිපතිවරයා කීවේය. ලෝක සම්ප්‍රදායද බිඳ හෙළමින් පරාජිත නායකයකුට ආරක්ෂක නිලධාරීන් සිය අභිමතය මත ගෙන යෑමට ඉඩ ලබා දුන් බව කී ජනාධිපතිවරයා කැප්ටන්, කර්නල්, බ්‍රිගේඩියර්, සහ පොලිසියේ 226ක් ඊට ඇතුළත්වූ බව අනාවරණය කළේය.

 ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ අති නවීන වෙඩි නොවදින මෝටර් රථ රාජපක්ෂ මහතාට ගෙන යෑමට ඉඩ සලසා දුන් බවද බලයට පත්වී මාස 15ක කාලයක් ඉක්ම ගියද තමා පරිහරණය කරන්නේ කලින් භාවිතා කළ වෙඩි නොවදින මෝටර් රථයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරප්‍රසාද ඉල්ලා සිටින්නේ තම රජයට එරෙහිව රටපුරා කඩා කප්පල්කාරී ක්‍රියා කිරීමට බවද තම බලතල යටතේ වරප්‍රසාද ඉවත් කිරීම සුළු ක්‍රියාවක් වුවද තමා එම තත්ත්වයට පත් නොවන බව ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති සටනින් තමා පරාජයට පත්වූවානම් අත්වන ඉරණම පිළිබඳ ජනතාවට රහසක් නොවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය. වාරිමාර්ග සහ ජලකළමනාකරණ ඇමැති විජිත් විජයමුණිද සොයිසා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන, ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක යන මහත්ම මහත්මීන්ද පළාත් මැති ඇමතිවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්වී සිටියහ.