05072022Tue
Last update:Mon, 04 Jul 2022

ජාතික සමගිය බිඳ වැටුණොත් වන්දි ගෙවීමට සිදුවන්නේ සමස්ත ජාතියටමයි

President 02 jathika 1පටු දේශාපාලන වාසි තකා රටේ ඒකීයත්වය විනාශ කිරීමට දකුණේ අන්තවාදී පිරිස් ක්‍රියා කරන බවත් ජාතීන් අතර ගොඩනැගී ඇති සුහඳතාව බිද වැටුණහොත් එහි වන්දි ගෙවීමට සිදු වෙන්නේ රටේ සමස්ත ජාතියටම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

නැවත යුද්ධයක් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කිරීම සියලුදෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව කී ජනාධිපතිවරයා ජාති, ආගම්, පක්ෂ භේද පසෙකලා රට ගොඩනැඟීමේ කාර්යයට සියලුදෙනා සහෝදරත්වයෙන් එක් විය යුතු බව පැවසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ එරාවූර් හිදී පසුගිය 01දා පැවැති නැඟෙනහිර පළාත් ඇඟළුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නැඟෙනහිර පළාතේ ප්‍රථම ඇඟළුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි.

මෙහිදී කුඩා දැරියක් විසින් හාල් ඇට ලක්ෂයක් එක් කොට නිර්මාණය කළ ජනාධිපති රුව ඇතුළත් චිත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. නැඟෙනහිර පළාත් ප්‍රධාන ඇමැති නසීර් අහමඩ් මහතා විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිරිනැමීම ද මෙහිදි සිදු විය. මෙහිදී පාසල් දරුවන්ට පාසල් උපකරණ කට්ටල බෙදා දීමද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු විය. එම දැවැන්ත ඇඟළුම් කර්මාන්ත ශාලාව හමීඩියා ආයතනය විසින් ආරම්භ කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය‍. මේ ප්‍රදේශය මට අලුත් ප්‍රදේශයක් නොවෙයි. මම ජීවත්වෙන්නේ මේ දිස්ත්‍රික්කයට අල්ලපු දිස්ත්‍රිකක්යේයි. මම හැඳුණු වැඩුණෙ මේ දිස්ත්‍රික්කයට අල්ලපු දිස්ත්‍රික්කයේයි. දේශපාලන කටයුතු සඳහා මම මේ ප්‍රදේශයට පැමිණෙන්නේ අවුරුදු විසිපහක - තිහක සිටයි. නමුත් ඊට පෙරාතුවද මම මේ ප්‍රදේශයට පැමිණ තිබෙනවා. එනම් පාසල් යන සමයේයි. මුහුදේ නෑමට යාළුවන් සමඟ පාපැදියෙන් පැමිණ තිබෙනවා. ඒ නිසා අවුරුදු පනහක සිට මේ ප්‍රදේශයට යන එන මට මේ ප්‍රදේශය හා බැඳුණු අලුත් අත්දැකීම් රැසක් ඇති ප්‍රදේශයක්.

පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේදී ඔබ සැම මට විශාල ශක්තියක් වුණා. මගේ රැස්වීම් වලට අතිවිශාල ජනතාවක් පැමිණියා. මේ රටේ වෙනසක් සඳහා ඔබ සැම මට ඡන්දය ලබා දුන්නා. ඒ පිළිබඳ ඔබ සැමට මම කෘතවේදිත්වය පළ කරනවා. මට ඡන්දය දුන් හැට දෙළස්ස පනස් දහස් වු ජනතාව ඉල්ලා සිටි දෙයක් තිබෙනවා. කන්න, බොන්න , අදින්න නැහැ කියා ජනතාව එදා කිව්වේ නැහැ. නමුත් ඊට වඩා ලොකු දෙයක් පිළිබඳ ජනතාව කියා සිටියා. කන්න බොන්න මොන දේ තිබුණත් නිදහස සහ සිතේ සතුට නැත්නම් වැඩක් නැහැ. ඒ වෙනස ඇති කරන්නැයි ජනතාව ඉල්ලා සිටියා.

පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදාට පෙර තිබූ දේ‍ශපාලන තත්ත්වය දැන් ඇතැමෙකුට අමතක වෙලා. සිංහල‍‍, දෙමළ, මුස්ලිම් සෑම කෙනෙක්ම ජීවත්වුණේ බියෙන්. නිදහසේ කතා කළේ නැහැ. නිදසයේ තමාගේ මිත්‍රයෙකුට ජංගම දුරකථනයෙන් කතා කළේ නැහැ. දුරකථනයෙන් කතා කරද්දි ටැප් කරයි. පෞද්ගලික දේ කියන්න එපා යැයි කියා කෑ ගසා කියන තත්ත්වයක් එදා තිබුණා. තම ජංගම දුරකථනයෙන් කතා කිරීමේ නිදහස මේ රටේ ජනතාවට තිබුණේ නැහැ.

යුද්ධය නිමා වෙලා මේ රටට සාමය ඇති වුණා. ඒ ගැන අපි සෑම කෙනෙක්ම සතුටු වුණා. ඒ වගේම අදත් සතුටු වෙනවා. රටට සාමය ගෙන ඒමට විශාලම කැපවීම සිදු කළේ රටේ ජනතාවයි. යුද්ධය නිමා කර සාමය උදා කිරීමට ආරක්ෂක අංශ වෙත ජනතාව පූර්ණ සහාය ලබා දුන්නා. නමුත් ඒ සාමය පිළිබඳ අපිට දීර්ඝ කාලීන බලාපොරොත්තු තබා ගත හැකිද? තුවක්කුවෙන්, වෙඩිල්ලෙන් බෝම්බයෙන් අපිට ස්ථිර සාමයක් ඇති කරන්න බැහැ. තුවක්කු අතැති අය පරාජය කරන්න තුවක්කුනෙක් පුළුවන්. බෝම්බය අතැති අය පරාජය කරන්න බෝම්බයෙන් පුළුවන්. නමුත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ රටේ ජනතාවගේ සිත්වල තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා. යුද්ධය ඇති වීමට හේතු අපි සොයා බැලුවාද? අවුරුදු විසි හයක් යුද්ධය පැවැතියා. ඔබ අප සෑම කෙනෙක්ම යුද්ධයෙන් දුක් වින්දා. ආරක්ෂක හමුදාව දහස් ගාණනක් මිය ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව මිය ගියා. කාන්තාවෝ, පිරිමි, බෞද්ධ කතෝලික, හින්දු, ඉස්ලාමීය කියා වෙනසක් නැහැ. හැමෝම මිය ගියා. ඒ සෑම කෙනෙකුටම සාමයෙන් ජීවත්වීමේ සිහිනයක් තිබුණා. නැවත යුද්ධයක් අති නොවීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා යුද්ධය ඇති වු හේතු සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳ අපි සැමගේ යුතුකමක් සහ වගකීමක් තිබෙනවා. අපි අද සිටින්නේ නැඟෙනහිර පළාතේයි. අපේ රටට හිරු පායන්නේ මේ පැත්තෙන්. ඒ නිසා නැඟෙනහිර කියා කියනවා. අපේ රටේ අගනුවර පිහිටා තිබෙන්නේ බස්නාහිර පළාතේයි. ඉර බැස යන්නේ ඒ පළාතෙන්. ඒ නිසා බස්නාහිර කියා කියනවා. මේ රටේ බස්නාහිර පළාතේ සහ නැඟෙනහිර පළාතේ වෙනසක් තිබෙනවාද? ඒ නිසා වෙනස නිවැරැදිව දකින්නේ සූර්යය දිව්‍ය රාජයායි. නැඟෙහිර සහ බස්නාහිර වෙනස සූර්යය දිව්‍ය රාජයා කිව හැකියි. නමුත් දෙවියන්ට පේන දේ මිනිසුන්ට පේන්නේ නැද්ද? දෙවියන්ට පේන දේ මිනිස්සුන්ට පේනවා නම් මිනිස්සු දෙවිවරු වෙනවා. බස්නාහිර පළාතෙයි නැඟෙනහිර පළාතෙයි සංවර්ධනය එක සමානද? බස්නාහිර පළාතේ සහ නැඟෙනහිර පළාතේ ජීවන තත්ත්වය ආර්ථිකය එක සමානද? නැඟෙනහිර පළාතේ බස්නාහිර පළාතේ දුප්පත්කම පිළිබඳ මිනුම් දණ්ඩු එක සමානද? නැඟෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ අධ්‍යාපන තත්ත්වය එක සමානද? නැඟෙනහිර පළාතේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවය එක සමානද? නැඟෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවය එක සමානද? එසේ නම් ඒ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. නැඟෙනහිර සහ බස්නාහිර පළාතේ වෙනස තිබෙන්නේ කාලගුණය සහ දේශගුණය අනුව යැයි කියා ඇතැමෙකුට කියන්න පුළුවන්. කාලගුණ සහ දේශගුණික තත්ත්වයක් නොවෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා මෙහි සිටිනවා. ඒ රට අපේ රටට වඩා වියළි කාලගුණයක් තිබෙන රටක්. මැදපෙරදිග රටවලට කාන්තාර කියා කියනවා. නමුත් ඒ රට කෙතරම් දියුණුද? එසේ නම් මේ තිබෙන්නේ කාලගුණය දේශගුණය අතර ප්‍රශ්නයක් නොවෙයි.

මේ ප්‍රශ්නය උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබෙනවා. උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබෙන වෙනසට හේතුව කුමක්ද කියා මම නැවත ප්‍රශ්න කරනවා. මේ රට උතුරු, නැඟෙනහිර, බටහිර කියා වෙනසක් නැහැ. රට එක ලෙස සංවර්ධනය විය යුතුයි. එක වගේ සෑම කෙනෙකුටම අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් තිබිය යුතුයි. ඒ අයුරින් ප්‍රවාහන පහසුකම් තිබිය යුතුයි. එක වගේ ජීවන තත්ත්වයක් තිබිය යුතුයි. ඒ පරතරය නැති කර රටේ සෑම කෙනෙකුටම එක වගේ ජීවන තත්ත්වයක් ඇති කිරීමට මේ ආණ්ඩුව පත් කර ගත්තා. ඒ ප්‍රශ්නය විසඳීමක් නොදුන් නිසා පිරිසක් තුවක්කුව අතට ගත්තා. ඒ නිසා නැවත මේ රටේ කිසිඳු අයෙකුට තුවක්කු අතට ගන්න පරිසරයක් ඇති නොකළ යුතුයි. ඒ නිසා නැවත තුවක්කු අතට නොගන්නා අයුරින් මේ රටේ උතුරු නැඟෙනහිර ඇතුළු සියලු පළාත් සංවර්ධනය කළ යුතුයි.

පවුලක පස් දෙනෙක් සිටිනවා නම් ඒ පස් දෙනාම සතුටින් ජීවත් විය යුතුයි. ඒ පවුලේ ඒක අයෙකු ප්‍රශ්න තිබේ නම් අනෙත් සිවුදෙනාට සතුටින් සිටිය හැකිද? රටේ සියලුදෙනා සතුටින් තැබීමේ වටපිටාව සැකසිය යුතුයි. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සතුටින් සිටීමට නම් මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුයි. අපි තේරුම් ගත යුත්තේ එයයි. මේ පිළිබඳ අපි ජාතිවාදී ලෙස සිතා වැඩක් නැහැ. අපි ඒ අරමුණ ඉටු කළ යුතුයි. ඒ යුතුකම ඉටු කිරීමට ආණ්ඩුව ක්‍රියා කරනවා. අපේ ආණ්ඩුව එසේ ක්‍රියා කරද්දී අපි රට බෙදන්න හදන බව දකුණේ අන්තවාදීන් පිරිසක් කියනවා. මේ රට අපි කඩන්න පාවා දෙන්න හදන බව කියනවා. මේ රට අපි ජාත්‍යන්තරයට පාවා දෙන්න හදන බව කියනවා. නමුත් එසේ කියන අයට වඩා මේ රට ගැන කැක්කුමක්, ආදරයක් අපිට තිබෙනවා. අපි කළ යුත්තේ මේ ප්‍රශ්නය දෙස බලා ඊට විරුද්ධව කතා කිරීම නොවෙයි. මේ රට සංවර්ධනය කිරීමට මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට මේ රටේ සියලුදෙනා එක්ව සාමයෙන්, සහෝදරත්වයෙන් කටයුතු කළ යුතුයි. ඒනිසා මේ රටේ පක්ෂ ජාති ආගම් භේද පසෙකලා රට ගොඩනඟනන්න සහෝදරත්වයෙන් එක් වැන කියා අපි ආරාධනා කරනවා. ඒ අරමුණු ඉටු නොකර ගත හොත් අනාගතයේ අපි සැමට අඬන්න සිදු වෙයි. අනාගතයේ අඬන්න සිදුවුනොත් උතුරු, දකුණ, නැඟෙනහිර, බටහිර කියා නොවෙයි. රටේ සෑම කෙනෙකුටම කඳුළු සලන්න සිදු වෙයි. අනුන්ගේ ප්‍රශ්නයක් තම ප්‍රශ්නයක් කියා සෑම කෙනෙකුම සිතිය යුතුයි. තමන් ගැන පමණක් සිතීම බෞද්ධ දර්ශනයට එකඟ නැහැ. සෑම කෙනෙකුම එක වගේ සිතන්න කියා බෞද්ධ දර්ශනයේ සඳහන්. සෑම කෙනෙකුම ප්‍රශ්න එක හා බෙදා ගෙන විසඳා ගත යුතුයි. හින්දු, කතෝලික, ඉස්ලාමීය දර්ශනවලත් කියන්නේ එයයි. ඒ නිසා අපි සියලුදෙනාට එක අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. සමහර අය කියනවා මේ ආණ්ඩුවට දිගට යන්න බැහැ කියා. ඒ සිහිනය කිසිදා සැබෑ නොවන බව මම ඒ අයට කියනවා. ආණ්ඩු වෙනස් කිරීමට සටන් නොකර තිබෙන ආණ්ඩුවත් සමඟ එක්ව රට ගොඩනැගීමට එක් වෙන්නැයි කියා මම කියනවා. මේ ව්‍යාපෘතිය රටේ සංවර්ධනයට හොඳ ආරම්භයක්. නැඟෙනහිර පළාත් මහ ඇමැතිතුමා සංවර්ධන ඉලක්ක පිළිබඳ දීර්ඝ විස්තරයක් කළා. 2030 නැඟෙනහිර පළාතේ සංවර්ධන ඉලක්ක ඉදිපත් කළා. රටක් ලෙස ක්‍රියා කරන්නේත් 2030 ශ්‍රීලංකාව තිබිය යුත්තේ තැන පිළිබඳ ඉලක්ක සහගත තැනක අපි ක්‍රියා කරනවා. ඒ ඉලක්කය සම්පූර්ණ කිරීමට අපි රජයක් ලෙස උපරිම වශයෙන් ක්‍රියා කරනවා. මේ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන්ගේ දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නැහැ. එකම යන්ත්‍රයෙන් සියලුදෙනා වැඩ කරනවා. යන්ත්‍රවල දෙමළ, මුස්ලිම් කියා ගසා නැහැ. ඒ හැම කෙනෙක්ම වාඩි වී සිටිය දී යන්ත්‍රය කැරකෙනවා. යන්ත්‍රය දෙමළ, දෙමළ කියා හෝ මුස්ලිම්, මුස්ලිම් කියා කැරකෙන්නේ නැහැ. යන්ත්‍රයට තේරෙන දේ මේ රටේ සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මනුෂ්‍යන් ලෙස අපි සිතිය යුතුයි. මේ රටේ නැඟෙනහිර පළාත සංහිදියාව පිළිබඳ ආදර්ශමත් පළාත් සභාවක්. ඒ ආදර්ශ ආකෘතිය අපි ශක්තිමත් කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා පළාත් සභාවේ ඇමැතිවරු. සියලු පක්ෂ නියෝජනය කරනවා. සියලුදෙනා එකට වැඩ කරනවා. තේ එකක් බී තිබෙන ප්‍රශ්න විසඳා ගන්නවා. අපි සෑම කෙනෙකුම වැඩ කළ යුත්තේ ඒ ආකාරයටයි. මේ සියලු කටයුතුවලට රජය ලෙස පූර්ණ සහාය ලබා දෙනවා. රටේ පළාත් නවය එක ලෙස සංවර්ධනය කිරීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපිට අන්තර් ජාතික ලෙස සහාය තිබෙනවා. අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේ නිෂ්පාදන ක්‍රියාවලි දියුණු කළ යුතුයි. සෑම ක්ෂේත්‍රයකම අය හොඳින් වැඩ කළ යුතුයි. රාජ්‍ය පෞද්ගලික කියා වෙනසක් නැහැ. අවංකබව එක්ක නියමිත කාලය වැඩ කරන්න ඕනෑ. අපි සෑම කෙනෙකුටම පොදු අරමුණක් තිබෙනවා. හෙට දවස හොඳ රටක් ලෙස හඳමු. හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදමු. ඒ සඳහා සියලුදෙනාට වගකීමක් තිබෙනවා. ඒ නිසා හොඳ ව්‍යාපෘතියක් විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලබා දෙන සහායට අපේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා.

නාගරික සංවර්ධන සහ ජලසම්පාදන ඇමැති රවූෆ් හකීම් මහතා- ජනාධිපතිවරණයෙන් පසු ලබා ගත් ජයග්‍රහණ කිහිපයක් තිබෙනවා. එය මැතිවරණ ජයග්‍රහණය පමණක් නොවෙයි. පරිපාලන ක්ෂේත්‍ර යේ වෙනස්කම් කර ගැනීමට අපිට හැකිවුණා. පසුගිය සමයේ උතුරු- නැඟෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ලෙස සේවය කළේ හමුදා නිලධාරීන්. ඒ වෙනුවට පරිපාලන ක්ෂේත්‍රයේ පරිනත ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීමට අපිට හැකි වුණා. එසේම දිස්ත්‍රික්ක ලේකම්වරු සඳහා යොදා තිබූ හමුදා කරණය අපේ රජය යටතේ වෙනස් කර ගැනීමට හැකි වුණා. සංහිදියාව ඇති කර රට පිළිබඳ තිබූ වැරැදි අදහස ආපසු හැරවීමට හැකිවුණා. සංහිඳියාව පිළිබඳ දේශපාලන ක්‍රියාව කඩිනම් කිරීමට ක්‍රියා කරනවා. ආක්‍රමණය කළ ඉඩම් අයිතිය ලබා දීම ආරම්භ කළා. සාම්පූර් සිට ක්‍රමයෙන් ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. අයෝජකයන් රටට පැමිණෙමින් සිටිනවා. නිදහස් පරිසරයක් ඇති කිරීම රටට වාසියක්. මේ යුගය අමතක නොවන යුගයක් වෙනු ඇතැයි විශ්වාසයි.

නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමැති නසීර් අහමඩ් මහතා- නැගෙනහිර පළාතේ ජනතාවගෙන් සියයට අනූවක් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. පළාතේ ජනතාව සියයට සීයක් ජනාධිපතිතුමාගේ නායකත්වය අපේක්ෂා කරනවා. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමට නැගෙනහිර පළාත් ජනතාව සිටිනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි එකම නායකයා ජනාධිපතිතුමායි. නැගෙනහිර ජනතාව දිවි හිමියෙන් ජනාධිපතිතුමා සමඟ සිටිනවා. අපේ පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් නියෝජනය කරන පළාත් සභාවක්. අපි සහයෝගයෙන් කටයුතු කරනවා. අපේ පළාත් සභාව රටේ සංහිඳියාවට කදිම නිදසුනක් ලබා දෙනවා. පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වී පළාතේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙමින් සිටිනවා. ඇඟළුම් කර්මාන්ත ශාලා පහළොවක් ඉදිරි වසර ඇතුළත ඇතිකිරීමට අපේක්ෂා කරනවා. ඉන් හයක් මුස්ලිම් ගම්මානවලත්, හයක් දෙමළ ගමගම්මානවලත්, කර්මාන්ත ශාලා තුනක් සිංහල ගම්මානවලත් ඉදිකිරීමට නියමිතයි. රැකියා විසිදහසක් ඒ යටතේ ඇති කිරීමට අපේක්ෂා කරනවා.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා- කරමාන්ත ශාලාවට ආධාර කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පූර්ණ සහාය ලබා දුන්නා. එය අගය කළ යුතුයි. මහ ඇමැතිතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මේ පළාත සංවර්ධන සැලැස්මක් අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර යොදා තිබෙනවා. ජාති ආගම් භේදයෙන් තොරව කරන එම ක්‍රියාවන් අපි අගය කළ යුතුයි. මේ සියල්ල කිරීමට හැකි වූණේ ජනාධිපතිවරයාගේ නායකත්වයි. මේ පළාත් සභාව යම් අර්බුදයකට ලක්ව තිබුණා. රවුෆ් හකීම් ඇමැතිතුමා, ආර්. සම්බන්ධන් මහතා එක්ව ජනාධිපතිතුමා අනුශාසනා මධ්‍යයේ මේ සඳහා යම් විසඳුමකට පැමිණියා. එය අනුව මෙහි සිංහල, දෙමළ , මුස්ලිම් සංයුතියක් ඇතිව සහයෝගයෙන් වැඩ කළ හැකි වාතාවරණයක් ඇති වුණා. විපක්ෂ නායකයෙක් නැති එකම පළාත් සභාව බවට මෙය පත්වුණා. එය සතුටට කරුණක්.

මහා සංඝරත්නය ප්‍රධාන සෙසු ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහිර් මවුලානා යන මහතා පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරුන්ද, පළාතේ දේශපාලඥයන්, ජනතාව ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර