21112024Thu
Last update:Wed, 20 Nov 2024

ඉතිහාසයත් ගෙන බෙදුණු රට නැවත එකමුතු කරමු

02 history 01බෙදුණු ජාතියක් වශයෙන් නොව සියලු ජාතින් සමග එක්ව අනාගතයට මුහුණ දිය යුතු බවද රටේ ඉතිහාසයත් සංස්කෘතියත් තේරුම්‍‍ ගෙන බෙදුණු රට නැවත එක් කිරීමට එක් විය යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යම්කිසි අයෙකුට වැඩියෙන් බෙදා වැඩිපුර සැලකිය යුතුද යන්න තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාව බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

දකුණු ඉන්දියානු කවියෙකු වන කම්බන් අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව කීය.

වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ ශාලාවේදී පෙරේදා (27) මේ උත්සවය පැවැත්විණි. කම්බන් අනුස්මරණ සංගමය මෙය සංවිධාන කර තිබුණි.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතාට කම්බන් සංගමය මගින් විශේෂ උපහාර සම්මානයක් පිරිනමනු ලැබුවේ රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා කරනු ලබන කාර්ය භාරයට උපහාර පිදීමක් වශයෙනි.

සංගමයේ සභාපති ඩී.ඊෂ්වරන් මහතා අගමැතිවරයාට තලප්පාවක් හිස මත පළඳවා උපහාර පුදනු ලැබිණි.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මා හට ගෞරව සම්මානයක් පිරිනැමීම සම්බන්ධයෙන් කම්බන් අනුස්මරණ සමිතියට මාගේ ස්තූතිය පිරිනමනවා. එවැනි සම්මානයකට මා සුදුසුද කියා මට සිතෙනවා. කම්බන් කවියා අනුස්මරණය කිරීම ඉතාම වැදගත් ලෙස මා සලකනවා. එය කළ යුතු දෙයක්. ඔහු රාමායනය දෙමළ භාෂාවෙන් ලිව්වා. එය පරිවර්තනයක් ලෙස සැලකිය නොහැක. දෙමළ භාෂාව ලෝකයේ විශිෂ්ටතම සංස්කෘතියක් බිහි කළ භාෂාවක්. ඓතිහාසික දමිළ ග්‍රන්ථවලින් එය පැහැදිලි වෙනවා. මේ භාෂාව සහ සංස්කෘතිය නිසා ඉන්දියානු අර්ධ මහා ද්විපයේ දකුණු පාර්ශ්වය බැබලුණා. මේ සංස්කෘතිය සහ භාෂාවේ මෙහෙවර නිසා ඉන්දියානු භාෂාව සහ සංස්කෘතිය ඉන්දියාවට පමණක් සීමා වුණේ නැහැ. ‍දෙමළ සංස්කෘතිය මුරුසිය ,මැලේසියාව, සිංගප්පුරුව, වැනි රටවල පවා ව්‍යාප්ත වී තිබේ. එපමණක් ‍නොව ‍මේ රටවල් මගින් ලොව දසත පැතිරි ගොස් එම සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත වුණා. එය නව සංවර්ධනයක්.

මහා කාව්‍යයක් වන රාමායනය එක් රටකට සීමා වු දෙයක් නොවේ. රටවල් කිහිපයකටම පොදු වූ නිර්මාණයක් වෙනවා. රාමායනය ශ්‍රි ලංකාව, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල පවා වෙනස්කම් සහිතව රාමායනය අසන්නට ලැබෙනවා.

වර්තමානයේ දෙමළ ජනතාව සිංගප්පූරුව, මැලේසියාව, ලන්ඩන් නුවර පවා ව්‍යාප්තව සිටිනවා. ඒ රටවල දෙමළ සංස්කෘතියද ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අප මේ සංස්කෘතිය රැක ගත යුතුයි.

රාමායනය අප රටටත් සම්බන්ධයි. එම කෘතියේ රටවල් දෙකටම පොදු සාරධර්ම වටිනාකම් ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සියලුම සංස්කෘතින්වලට සම්බන්ධ සාරධර්ම පිළිබඳව එහි සඳහන් වෙනවා. රාමායනය සමග බෞද්ධ සංකල්ප එම රටවල්වලටද ගියා.මුල් යුගයේදී හින්දු සංස්කෘතිය තුළ ව්‍යාප්ත වුණත් පොලොන්නරුවේ සහ කොට්ටේ යුගයේදී ථේරවාදි බුදු දහමට ඇති වු බලපෑම් නිසා දෙමළ සංස්කෘතියත් බුදු දහමත් ලොව පුරා ව්‍යාප්ත වුණා. රාමායනය කථාවක් ලෙස ප්‍රසිද්ධ වුණත් එහි වැදගත්කම තිබෙන්නේ චර්යාධර්මය පිළිබඳව පණිවිඩයක් ලබාදීම නිසයි.ඉන්පසුව ආචාර ධර්මවලින් ඇති කළ ක්‍රියාවලිය නිසා ආගමික සහ සංස්කෘතියට කළ බලපෑම් විශාලයි. චර්යාධර්මවලින් පොහොසත් වුණු විට සංස්කෘතික සහ ආගමික බැමිවලින් ඔබ්බට ගොස් මානව සංහතිය වැඩි දියුණු කරන සංස්කෘතියක් බවට පත් වී තිබේ. ‍

මේ කරුණු අනුව අපට පෙනී යන්නේ රාමායනය එක ජන වර්ගයක කතාවක් නොවන බවයි. මහා භාරතය වීර කතාවක්. රාමායනය එසේ නොවේ. රාමා ,සීතා, රාවණා, විභීෂණ සහ හනුමන්තා යන චරිත රාශියක් රාමායනයේ අන්තර්ගත වෙනවා.

රට එක්සත් ජාතියක් බවට පත් කිරීම මේ උළෙලේ අරමුණක් ලෙස මා දකිනවා. ශ්‍රි ලාංකිකයකු වීම ආඩම්බරයක්. බුදු දහමේ වගේම හින්දු ආගමේ සංස්කෘතික අංග එක්සත් ජාතියක් බිහි කිරීමට බලපානවා. දකුණු ඉන්දියාවේ ආගමික සම්ප්‍රදායක් පමණක් නොව උතුරු ඉන්දියානු දෙවිවරුද, ඉස්ලාම් ආගමේ විවිධ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ද ක්‍රිස්තියානි පුද සිරිත් එක්වුණු ඒකාබද්ධ ආගමික සංස්කෘතියක් පවතිනවා.

එයට ‍අමතරව සිංහල,දෙමල, ඉංග්‍රිසි භාෂා සම්ප්‍රදාය අනුව අපේ සංස්කෘතිය දීර්ඝ කාලයක් පෝෂණය වුණා. මේ අංග එක්වී පොහොසත් වූ අපේ සංස්කෘතිය ඉන්දියානු සාගරය පුරා පැතිර ගියා.

සිංහල රාජධානිය‍ට පසු කාලයේදී මදුරෙයි නුවර රාජ සංස්කෘතිය අපේ මහනුවර සංස්කෘතියට එක් වුණා. මේ සංස්කෘතියෙන් අපි තේරුම් ගත යුත්තේ එක මවකගේ දරුවන් ලෙස ජීවත් විය යුතු බවයි.

සිංහ කොඩිය දිගටම තියා ගන්නවාද නැතිනම් වෙනත් කොඩියකට යනවාද කියා එදා සාකච්ජා කෙරුණා. ජාතික කොඩිය පිළිබඳව තීරණයකට එළැඹීමේදී පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් වැනි දමිළ නායකයන්ද එකතු වුණා. පසුව සියලුම ජාතින් නියෝජනය වන පරිදි ජාතික කොඩිය නිර්මාණය කරනු ලැබුවා.

ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීමට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා ක්‍රියා කළා. නමුත් පසුව එය ක්‍රියාත්මක වුණේ නැහැ.අපි එය නැවත ක්‍රියාත්මක කිරීමට සමහරුන් එය විවේචනය කළා. ඒකාබද්ධ සංස්කෘතිය ඉදිරියට ගෙන යාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළදි පියවර ගෙන තිබෙනවා. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට අප ආරම්භ කළ අවස්ථාවේදී සමහර පිරිස් විවේචනය කළා. ඒ අය ඒ විදියට කටයුතු කරන්නේ මේ රටේ සංස්කෘතිය නොදන්නා නිසයි. මෛත්‍රිපාල සිරිසේන රජය කටයුතු කරන්නේ සෑම දෙනා‍ටම එක ලෙස සැලකීමටයි. මේ නිසා යම්කිසි අයෙකුට වැඩියෙන් බෙදා වැඩිපුර සැලකිය යුතුද යන්න තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාවයි. දැන් අපේ සංස්කෘතියත් ඉතිහාසයත් වටහා ගෙන බෙදුණු රට නැවත එක් කිරීමට අපි එක් වෙමු යැයිද අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

කම්බන් අනුස්මරණ සමි‍‍තියේ සභාපති ඩී.ඊෂ්වරන් මහතා -

කොළඹ පැවැත්වෙන විශාලම ‍දමිළ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම අපට මහත් සතුටක්.මේ උත්සවයට ආරාධනා කළ අවස්ථාවේ එතුමා එකවරම ආරාධනය පිළි ගත්තා. රටේ ජාතික ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසඳුමක් නොසෙව්වොත් එය කිරීමට වෙන කිසිවකුටත් බැරි බව ම‍ගේ විශ්වාසයයි. එතුමා සමබර නායකයෙක්. අපට අවශ්‍ය එකම රටක් තුළ එකට ජීවත්වීමටයි. අතීතය ගැන නොසිතිය යුතුයි. අපට අග්‍ර ගණයේ ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු සිටිනවා.

පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති කේ.ඩී.ස්වාමිනාදන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.යෝගේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.