25042024Thu
Last update:Thu, 18 Apr 2024

මහනායක හිමියෝ දැයෙන් සමුගත්හ

03 dashaka 01දශක අටකට වැඩි කාලයක් කසාවත දරමින් ධර්මධර,විනයධර ශ්‍රේෂ්ඨ හිමිනමක ලෙස අති උදාරවූ ජාතික,ආගමික හා ශාසනික සේවාවක් ඉටුකැරමින් දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයටපත් අපවත්වී වදාළ ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහවිහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සාභිධාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඊයේ (13) පස්වරුවේ දැයෙන් සමුගත්හ.

මහනාහිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහනපූජෝත්සවය පූර්ණ රාජ්‍යය ගෞරව සහිතව (13) පස්වරුවේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඊට ත්‍රෛනිකායික මහාසංඝරත්නයද,සෙසු ආගමික පූජකවරුන්ද, ජනපති,අගමැති ඇතුළු මැතිඇමැතිවරන්ද,දෙස් විදෙස් රාජ්‍යය තාන්ත්‍රිකයින්ද ඇතුළුව අතිවිශාල පිරිසක් සහභාගීවී සිටියහ.

මහජන ගෞරවය සඳහා අස්ගිරි මහ විහාරීය ප්‍රවර උපාලි නාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත්කැර තිබූ මහනාහිමි ශ්‍රී දේහය ‍අද (13) පස්වරු 1.00 ට පමණ අස්ගිරි මහවිහාරීය කාරක සංඝසභික හිමිවරුන්ගේ උර මතින් වැඩමවාගෙන විත් රන්සිවිගෙය සහිත රියෙහිවූ විශේෂ පීඨිකාවක තැන්පත්කැරිණි.පසුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහර එහිසිට ගාමිණී දිසානායක මාවත,කන්දේ වීදිය,ඩී.එස් සේනානායක වීදිය, ශ්‍රී දළදා වීදිය ඔස්සේ මහනුවර ඔරලෝසු කණුව අභියසින් පොලිස් ස්ථානය දක්වා පැමිණ පුෂ්පාදන මාවතින් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය වෙත පැමිණීයේය. දේහය මහනුවර නගරයේ වීදී ඔස්සේ වැඩමකැරවන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවනේ සිට ඊට පු‍ෂ්පෝපහාර දැක්වීය.ශ්‍රී දේහය වැඩමවූ මඟ දෙපස යුද හමුදා සෙබළුන් එක පෙළට සිටගනිමින් මහනාහිමි දේහයට ගෞරව පුදකළහ.පොලිස් නිල රථය පෙරටුකැරගත් පෙරහරෙහි මහනාහිමි ශ්‍රී දේහයට ඉදිරියෙන් සම්ප්‍රදායික උඩරට නිළමේ ඇඳුමින් සැරසී දියවඩන නිළමේ ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු ගමන් ගත්හ.

මහනාහිමි ශ්‍රී දේහය රැගත් පෙරහර ගමන් ගන්නා කාලය තුළ පැය දෙකක පමණ කාලයක් මහනුවර නගරයට රථවාහන ඇතුළු නොකෙරුණු අතර වෙනදා ඝෝෂාකාරී මහනුවර තුළ දැඩි නිහඬතාවක් පෙන්නුම් කළේය.මඟ දෙපස රැස්ව සිටි ජනතාව මහනාහිමි ශ්‍රී දේහයට පුෂ්පෝපහාර දක්වමින් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වූහ.

අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය තුළ ඉදිකැර තිබූ චිතතය තුළ දේහය තැන්පත් කිරීමට පෙර ඒ අසළවූ විශේෂ පීඨිකාවක ශ්‍රී දේහය තැන්පත් කිරීමෙන් පසු ආගමික වතාවත් ඉටුකෙරිණි.

පිළිගැනීමේ කතාව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්. හිටිසේකර මහතා විසින් සිදුකිරීමෙන් පසු අස්ගිරි මහවිහාර පාර්ශවය වෙනුවෙන් අනුනායක,බදුලු මුතියංගණ රජමහවිහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමි විසින් සිදුකැරනු ලැබූහ.

මහනාහිමි වෙනුවෙන් පැන්වඩා මතත වස්ත්‍ර පිළිගැන්වීම උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යය මහියංගණ රජමහ විහාර භාරකාර උරුලෑවත්තේ ධම්මරතන හිමි විසින් සිදුකැරනු ලැබීය.

ප්‍රධාන අනුශාසනාව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් විසින් සිදුකළ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් අනතුරුව කතා කළේය.

අනතුරුව ආචාර වෙඩිමුර 21ක් තබා මහනාහිමි ශ්‍රී දේහයට රාජ්‍යය ගෞරව පුදකළ අතර මහනුවර නගරය අඳුර වෙලාගනිද්දී මහනාහිමි චිතකයකට ගිනි දැල්වූයේ සැමගේ නෙතට කඳුලක් එක්කැරමිනි. ත්‍රෛනිකායික මහසංඝරත්නය, අගමැති රනිල් වික්‍රමසිංහ,කතානායක කරූ ජයසූරිය,මැති ඇමැතිවරු,රාජ්‍යය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - උදේනි රාජපක්ෂ හා ගාමිණි රණසිංහ