20042024Sat
Last update:Thu, 18 Apr 2024

පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයට වගකීම් රැසක්

RanilWigremesinghe August2015කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් මැදිහත්වීම පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ වගකීමක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නීතිය හා සාමය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවට කාන්තා මන්ත්‍රීවරියන් පත්කළ යුතු අතර එලෙස පත්කිරීමෙන් කාන්තා ගැටලු හා කාන්තා හිංසනය සම්බන්ධයෙන් මැදිහත්වීමේ හැකියාව නීතිය හා සාමය පිළිබඳ කාරක සභාවට පවතින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා:-

කාන්තාවන් බලගැන්වීම සඳහා අපි විශේෂයෙන්ම පනතක් ඉදිරිපත් කරලා, ප්‍රාදේශීය නගර සභාවල නියෝජනයෙන් සියයට 25%ක් කාන්තාවන්ට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අවම නියෝජනය සියයට 25%යි. මෙය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවෙන්නේ මේ මැතිවරණයෙන් පසුවයි. කාන්තා හඬ, කාන්තාවන් බලගතු කරන්නට, කාන්තාවන් ශක්තිමත් කරන්නට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. කාන්තා නියෝජනය සියයට විසිපහකින් වැඩිකිරීම සාර්ථක නම් පළාත් සභාවලටත් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. නීතිය සම්මත කළා කියලා මෙය සාර්ථක වන්නේ නෑ. කොහොමද කාන්තා නියෝජිතයන් තෝරා ගන්නේ. මන්ත්‍රී ලැයිස්තුවට කොහොමද කාන්තාවන් තෝරා ගන්නේ. මේ කාරණා පිළිබඳවයි ඔබේ අවධානය යොමු කිරීමට තිබෙන්නේ. ඒ ක්‍රමවේදය ඇති කරන්න ඕන. ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ඕන. මැතිවරණ කොමිසම සමඟ සකච්ඡා කරන්න ඕන. අපි සියයට 25%ක් කාන්තාවන්ට වෙන් කළාම, කණ්ඩායම් දෙකක් එතැනට එන්න වෙයි, එකක් හැම පක්ෂයකම වැඩකරන ක්‍රියාකාරී කාන්තාවන්. අනෙක් පිරිස සමාජයේ පිළිගත් කාන්තාවන්. මේ කණ්ඩායම් දෙකම අවශ්‍යයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේවා ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. හිටපු ජනාධිපතිවරියත් මේ ගැන විශාල උනන්දුවක් දක්වනවා. කාන්තා නියෝජනය වැඩිකරන්න අවශ්‍යයි. මෙතැන අපිට වැඩකටයුතු ගණනාවක් කරන්න තිබෙනවා. මෙහි නායකත්වය ගන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ටයි. මේ කණ්ඩායම නිල වශයෙන් පිළිගන්න පුළුවන්. අලුත් ගොඩනැඟිල්ලක පහසුකම් දෙන නිසා, කාර්යාලයක් හා සේවා ලබාදෙන්න පුළුවන්. කාන්තා හිංසනයේ විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන ක්‍රියාකරලා, නීතිය සාමය පිළිබඳ කාරක සභාවට කන්තා ගැටලු යොමු කිරීම ඔබේ විශාල යුතුකමක්. උතුරේ විශාල ප්‍රශ්න තිබෙනවා, කාන්තා හිංසනය පිළිබඳව. කාන්තා පාර්ලිමේන්තු සංසදයට විශාල වගකීමක් තිබෙනවා. එන වසරේ ග්‍රාම රජ්‍ය ක්‍රමය ඇති වනවිට එතැනට කන්තා නියෝජනය ලබාගන්න යෝජනා ඉදිරිපත් කරන්න. කාන්තා පිරිමි සමභාවය පිළිබඳව, අයවැය පරීක්ෂා කිරීමේ ක්‍රමය 2017 අත්හදා බැලීමක් ලෙස ක්‍රියාකරලා, සාර්ථක නම් 2018 සිට සම්පූර්ණ වැඩසටහනක් ලෙස කටයුතු කරන්න තිබෙනවා. මෙහි නායකත්වය තියෙන්නේ කාන්තා මන්ත්‍රීතුමියන්ගේ කණ්ඩායමටයි. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් බලගතු කරන්න සිදු වෙනවා.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා:-

පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් ශක්තිමත් කිරීම රජයේ එක් අරමුණක්. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් ශක්තිමත් කිරීමටත් අපි අපේක්ෂා කරනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ අපේක්ෂාවෙන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට විසිපහකින් වැඩිකිරීමට අදාළ යෝජනාවක් අගමැතිවරයා ඉදිරිපත් කළා. මෙය පාර්ලිමේන්තුව දක්වා වැඩිකළ යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225න් කාන්තා නියෝජනය සියයට හයයි. එම ප්‍රමාණය පිළිබඳ සතුටුවිය නොහැකියි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුවයි කාන්තා නියෝජනය වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙන්නේ. එමෙන්ම සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කරන මුදල් වලින් සියයට විසිපහක් කාන්තාවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය:-

දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට25%ක් දක්වා වැඩිකිරීම දැන් සාර්ථකව සිදුකර අවසන්. අගමැතිවරයා පසුගිය කාන්තා දිනයේ දී කළ පොරොන්දුව ඉටුකර තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් කාන්තාව බලගැන්වීමට නීති හා ප්‍රතිපත්ති සකස් කිරීමට හැකිව තිබෙනවා. එමඟින් කාන්තාවන්ට එරෙහි හිංසනයට විසඳුමක් ලබාදිය හැකියි. ගෙදර සිටින කාන්තාවන්ගේ සමාජ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් ආණ්ඩුව වැඩකටයුතු කරනවා. උතුර හා නැඟෙනහිර ප්‍රදේශයේ කාන්තාවන් ගැන වැඩි අවධානයක් යොමු කරනව. ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියක ගමන් කරනවා. 2030 වසර සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගොඩනඟන්න ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. අපි මේවා කාන්තා දිනයට පමණක් සීමා කරන්නේ නෑ. හැමදිනයක්ම කාන්තා දිනයක්.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලේන් සිබ්නේලර් මහතා:-

ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර ගණනාවකින් ඉදිරියෙන් සිටිනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව ලෝකයේ තවත් අසමානතා තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉතාම වැදගත්. පළාත් පාලන ආයතනවල සියයට 25%ක් කාන්තා නියෝජනය ලබාදීම දිරිගන්වන කටයුත්තක්. කාන්තාව දේශපාලනයට සහභාගී වීමෙන් රටක දේශපාලනයට සහභාගී වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු පාඩුවක් වෙන්නේ නෑ

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ෂෙලි වයිටිං මහත්මිය:-

කිසිදු භේදයකින් තොරව කාන්තාවන්ට දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ලබාදෙයි කියලා විශ්වාස කරනවා. කාන්තාව ශක්තිමත් කරනවිට රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක කාන්තා දේශපාලනය ඉතාම වැදගත්. කාන්තාව දේශපාලනයට සහභාගී වීමෙන් රටක දේශපාලනයට සහභාගී වීමෙන්

ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු පාඩුවක් වෙන්නේ නෑ. දැන් අපිට තියෙන්නේ ඉදිරියට යන්නයි.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත උනා මැකුලි මහත්මිය, නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතා , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී.ජයසේන, ගීතා කුමාරසිංහ, හිරුණිකා පේමචන්ද්‍ර දේශපාලන නියෝජිතවරියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මේ අවස්ථාවේ දී කාන්තාවන් සිදු කළ සුවිශේෂී සමාජ කාර්යභාරය අගයමින් 'රටේ ප්‍රමුඛ කාන්තාවන්' වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි.