26042024Fri
Last update:Thu, 18 Apr 2024

මහනාහිමි ආදාහනයට පූර්ණ රාජ්‍ය ගෞරව

thera1අපවත් වි වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහනාහිමියන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. අදාහන පූජෝත්සවයට සහභාගී වන මහා සංඝරත්නයට සහ සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ලේකම්තුමාට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත. ගලගම ශ්‍රී අත්ථදස්සි මහනායක හිමියන්ගේ හදිසි අපවත් වීම පිළිබඳ පුවත සැලවීමෙන් තමන් මහත් සංවේගයට පත්වූ බවත්

උන්වහන්සේගේ රටටත් ශාසනයට සහ සමාජයටත් සිදු වූ මහා මෙහෙවර සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙත්, ලෝක බෞද්ධ ජනතාවගෙත් මහත් ගෞරවයට පාත්‍රවන්නක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 13 වන ඉරිදා දින ජාතික ශෝක දිනයක් ලෙස ද රජය ප්‍රකාශයට පත්කොට තිබේ.

ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ මස 13 දින පස්වරු 2.30 ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශට පත්කිරීමට රජය පියවර ගෙන ඇත. මහනාහිමි ශ්‍රී දේහය ඊයේ (10) පෙරවරුවේ උන්වහන්සේ මහනායක පදවියට පත්වීමට පෙර වැඩසිටි උරුලෑවත්තේ පන්සල වෙත වැඩමකරවූ අතර එහි පස්වරුව තෙක් දේහය තැන්පත් කැර තිබිණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි ප්‍රමුඛ කාරක සංඝ සභික හිමවරු හා මහසංඝරත්නය එහිදී මහනාහිමි ශ්‍රී දේහයට ගෞරව දැක්වූහ.

පස්වරුවේ ශ්‍රී දේහය අස්ගිරි මහ විහාරයේ ප්‍රවර උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කර අවසන් කටයුතු සිදුකෙරෙන 13 දින දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.

මහනාහිමි ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය පැවැත්වෙන තෙක් මහනුවර මහ නගර සභා සීමාවේ පිහිටි සියලුම මස් හා මත්පැන් වෙළෙඳ සල් වසා තැබීමට තීරණය කර ඇත.

මහනාහිමියන්ට ගෞරව පිණිස කහ කොඩියක් ඔසවන ලෙස අදාහන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.