23042024Tue
Last update:Thu, 18 Apr 2024

රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම සක්‍රීය කරන්න

RanilWigremesinghe August2015දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනුයුක්ත කර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියම කරයි.

පාතාලයට සම්බන්ධ අය මෙන්ම විවිධ ජාවාරම්වලට සම්බන්ධඅය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දීමට ස්ථාපිත කර තිබු බුද්ධි අංශ රාජපක්ෂ පාලන සමයේ දී අහෝසි කර තිබුණු අතර ත්‍රස්ත විමර්ශන ඒකක සහ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවලට එම කාර්යය භාරය පවරා තිබිණි. එමගින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් වාර්තාවක සඳහන් වී ඇති තොරතුරු අනුව අගමැතිවරයා මෙම නියෝගය සිදු කර තිබේ.

මේ අතර පොලිස් බල ප්‍රදේශවල සිදු වන මිනීමැරීම්, කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වගකීම භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නීතිය සහ සාමය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඊට අමතරව පළාතේ සිදු වන එවැනි අපරාධ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා ද වගකීම දැරිය යුතු බව ද දැනුම් දී තිබේ. පසුගිය දිනවල සිදු වු පාතාල සිද්ධීන් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීම සිදු නොවීම නිසා මේ නියෝගය සිදු කර තිබේ.