20042024Sat
Last update:Thu, 18 Apr 2024

ගැටලු නිරාකරණයට ජාතික ආණ්ඩුව ඇති කළා

kiriellaනව ව්‍යවස්ථාව සකස් කරලීම යුගයේ අවශ්‍යතාවක් බවත් නිදහසින් පසුව විසඳාගත නොහැකි වූ ප්‍රශ්න විසඳා ගැනීමට ජාතික ආණ්ඩුවක් බිහි කළ බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.

සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම පිළිබඳ යෝජනාවට අදාළ විවාදයට එක් වෙමිණි.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු1ට රැස්විය.

ලිපි ලේඛන හා පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.‍

ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පිළිබඳ යෝජනාව විවාදයට ගැනිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- අදයි හෙටයි මේ ගැන සාකච්ඡා කරනවා. අපි ඡන්දයකට යන්නේ නැහැ. මන්ත්‍රීවරු සියල්ලටම කතා කරන්න අවස්ථාව දෙන්න කියලා ඉල්ලනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා- අපි බෙදීමක් ඉල්ලන්නේ නැහැ.

සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා- මුල් යෝජනාව අපි සංශෝධනයකර තිබෙනවා.

අනුර දිසානායක මහතා- ඔබතතුමා සංශෝධන ඉදිරිපත් කරනවා. ආණ්ඩුවේ ශ්‍රීලනිපයේ එකඟතාවක් නැහැ. ඔය ඉදිරිපත් කරන්නේ අවසන් සංශෝධනද?ඇයි හෙට ඡන්දයට යන්නේ නැත්තේ?.

සභානායක- ඒක අපේ අභිමතය.අපිට ඕන නම් ඡන්දයක් ගන්නවා. නැත්නම් නොගෙන ඉන්නවා.ආණ්ඩුවේ වැඩකටයුතු මෙහෙයවන එක අපි කරන්නම්.

දිසානායක මහතා- මේ ව්‍යවස්ථා සංශෝධනද?

සභානායක- ඡන්දයට කලිනුයි සංශෝධන ඉදිරිපත් කරන්නේ.දැන් මගේ කතාවේදි මම ඉගියක් දෙනවා.අපි ශ්‍රී ලනිපය සමඟ මේ ගැන සාකච්චාකර තිබෙනවා. යම් එකඟතාවකට ඇවිත් තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පිළිබඳ යෝජනාවට යෝජිත සංශෝධන 09ක් ඉදිරිපත් කරමින් කතා කළ සභානායක, උසස් අධ­්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- නිදහසින් පසුව විසඳා ගත නොහැකි වූ ප්‍රශ්න විසඳා ගැනීමටයි ජාතික ආණ්ඩුවක් බිහි කළේ. රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.පසුගිය ජනාධිපතිවරණයේ දී, මහ මැතිවරණයේ දී ජනාධිපතිතුමා අගමැතිතුමා ජාතික ආණ්ඩුවක් හදන බව කීවා. 1948 සිට මේ රටට බලපාන මූලික ප්‍රශ්නවලට විසඳුම් ලැබුනේ නැහැ. සිංගප්පූරුවට නිදහස ලැබුනම කිව්වේ ශ්‍රී ලංකාවක් වගේ රට හදනවා කියලා. අද අපි කොහ්ද ඉන්නේ. අපි වසර 30ක් යුද්ධයට ගියා. මේ ප්‍රශ්න අනාගතයට ඉතිරි නොකර තිත තැබිය යුතුයි. එක්සත් ජාතින්ගෙන් එන ප්‍රශ්නවලට, යුද අපරාධවලට අපි විසඳුම් දිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ ඇමැතිවරු අපිට ඉන්නවා. නව ව්‍යවස්ථාවක් හදලා නැහැ. යෝජනා විතරයි. අද යෝජනාවේ තිබෙන්නේ ආණ්ඩුව විපක්ෂය එකතු වී නව ව්‍යවස්ථාව හදන එකයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වූ මන්ත්‍රීන්ට ස්තූති කරනවා. ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වීමෙන් රට ඉදිරියට ගෙන යා හැකියි.23-2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළ හැක්කේ විපක්ෂනායකට හෝ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට පමණයි.මේ අය පාර්ලිමේන්තුවේ කටයුතු කඩා කප්පල් කරනවා.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණියේය

නියෝජ්‍ය කාරක සභා සභාපති එස් අඩෙක්කලනාදන් මහතා (දෙජාස)- වවුනියාවේ දැරියක් දුෂණය කිරීම පිළිබඳව කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. මේ අය අත්අඩංගුවට ගන්න කියලා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. දේශපාලන රැඳවියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ ගැන පසුගිය රජය කිසිදු වගකීමක් දැරුවේ නැහැ. පළාත් සභා කටයුතු පවා පසුගිය රජය මැඩපැවැත්වූවා. පසුගිය රජය දෙමළ කතා කරන ජන කොටස් ප්‍රචණ්ඩ ලෙස පාලනය කළා. වත්මන් ජනාධිපති දරන උත්සාහයට අපි ප්‍රශංසාව පළ කරනවා. දෙමළ කතා කරන ජනතාව දේශපාලන විසඳුමක් ලබාදීමට හැකිවන පරිදි ව්‍යවස්ථාව සකස් කරන්න. ජනාධිපති බලතල අඩු කිරීමත් හොඳ දෙයක්. දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය මෙම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි.පළාත් සභාවලටත් බලතල ලබා දිය යුතුයි. පොලිස් ඉඩම් බලතල පළාත් සභාවලට ලබා දෙනවානම් ඒ අයට නිදහසේ කටයුතු කළ හැකි වෙනවා.මේ රට දෙකඩ කරන්නට අපි කටයුතු කළේ නැහැ. ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමට අපි එකඟත්වය පළ කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) - මෙය ආවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමින්. දැන් මෙහි නම වෙනස් වෙලා. එජ­ාපයට ශ්‍රී ලංනිපයට දෙමළ ජාතික සන්ධානයට තිබෙන විවිධ වුවමනාවන් නිසා මෙය අද විවාදයක් පමණක් බවට පත්ව තිබෙනවා. උතුරබාර මේජර් ජනරාල් චාගි ගාල්ලගේ මහතා විවිධ හේතු මත කොළඹට ගෙන්වා තිබෙනවා. ගුවන් හමුදාවට උතුරු අහසේ යුද අභ්‍යාස කිරීමත් තහනම්. හමුදා සෙබළුන් අද සිරගත කරලා. අද බෞද්ධ භික්ෂුන්වහන්සේලා කොතැන සිටියත් සිරගත කරනවා. මාධ්‍ය ‍ෙව්දීන්ව දඩයම් කරනවා. අද සම්මුතිවාදයක් නෙමෙයි කම්මුතිවාදයක් තිබෙන්නේ. නව ව්‍යවස්ථාව ගේනවා කිව්වාට ඒකේ රාමුවවත් හදලා නැහැ. සත්‍යයට ගහන්නයි ව්‍යවස්ථා යෝජනා ගෙන එන්නේ. ඇත්ත මාතෘකා කතා කරන්න ආණ්ඩුව අපිට ඉඩ දෙන්නේ නැහැ.මේ සම්බන්ධව හෙට ඡන්දයක් තියන්නෙත් නැහැලු. මේක හරියට ප්‍රංශ විප්ලවය වගෙයි. මේකේ විවිධ වුවමනාවන් තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් ඊට දේශපාලන ව්‍යවස්ථාවක් සෑදිය යුතුයි. ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ)- අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම ගැන කිසිදු ගැටලුවක් නැහැ. දැනට තිබෙන ව්‍යවස්ථාව අවුරුදු 38ක් පැරණියි. ඒ නිසා අපිට ගැලපෙන විදියට මේ නව ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. එදා තිබුණු සමාජය නෙමෙයි දැන් තියෙන්නේ. ලෝකය වෙනස් වෙලා නව නීති සම්පාදනය අවශ්‍යයි. මෙහි ක්‍රමවේදය විනිවිදභාවයකින් කළ යුතුයි. ඒත් මෙය අද හදිස්සියෙන් තමයි ගෙනාවේ. ඒ නිසා මේ තුළ අක්‍රමවත් බවක් තිබෙනවා. ව්‍යවස්ථාව පිළිබඳව කතා කරන එක බොරුවට සාකච්ඡා කරනන් අදහස් දක්වන්න කියලා ප්‍රධාන පක්ෂ අනුමැතිය නැතිවයි. ඒ විතරක් නෙමෙයි නව ව්‍යවස්ථාව ගැන ශ්‍රී ලනිපයේ අදහස් තවම ලැබිලා නැහැ කියලා අගමැතිතුමා කිව්වා. ආණ්ඩුව තුළත් මේ ගැන ඒකමතිකතාවක් නැහැ.

සභානායකවරයා- ශ්‍රී ලනිපය මේ සඳහා එකඟත්වය දැක්වූවා. නමුත් ශ්‍රී ලනිපය කිව්වා මධ්‍යම කාරක සභාවට දාලා අනුමැතිය ගන්නම් කියලා.

හේරත් මහතා- ඒ කියන්නේ තවම එකඟත්වයක් නැහැ. නව ව්‍යවස්ථාවක්ද? මේ ගැන තවම කාල රාමුවක්වත් නැහැ. අය-වැය අනාගත්තා වගේ මේ ව්‍යවස්ථාවත් පැහැදිලිවම අනාගනිවි. මේ හදන්නේ රටේ ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය මඟහරින්නයි. රජයේ සේවකයන්ගේ රුපියල් 10,000, පුද්ගලික සේවකයන්ගේ රුපියල් 2500 වැටුප් වැඩිවීම ගැන කතා කරන්නේ නැහැ. ක්‍රමවේදයක් නැහැ. ආණ්ඩුව ඇතුලේ ශ්‍රී ලංනිප මතය වුනේ ආණ්ඩුව ඇතුලේ අගමැතිවරයාට අත්තනෝමතික බලයක් තිබෙන බව. මේ ව්‍යවස්ථා සම්පාදනය භාවිතාකර ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතකකර කටයුතු කරන්න බැහැ. දැනට තිබෙන ජාතික ආගමික අසමගිය නැති කරවන ලෙස ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. නැඟෙනහිර පළාත උතුරට එක්කිරීම නැවතත් ජාතික ප්‍රශ්නයට එක් වීමක් . මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නොගැලපෙන පැරණි වගන්ති ඉවත් කළයතුයි. එවැනි ක්‍රමවේදයකට අපි එකතුයි. මේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංවාදයට භාවිතා කර ජනාතවගේ සබෑ ප්‍රශ්න අමතක කරන්න මැතිවරණය කල් දානවා නම් අපි එයට විරුද්ධයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකර මහතා මුලසුනට පැමිණියේය.

පත් කළ මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප)- 1948න් පසුව හැදුනු ව්‍යවස්ථාව අපේ එකක් නෙමෙයි.එය අපිට බ්‍රිතාන්‍යෙයන් බලෙන් පැටවුණු දෙයක්. ඒ නිසා අපේ භූමියෙන් හැදුනු ව්‍යවස්ථාවක් අපිට තිබිය යුතුයි කියලා මතයක් ආවා. ඒ අනුව අපේ භුමියෙන් ව්‍යවස්ථාවක් සෑදිය යුතුයි කියලා මතයක් ආවා.1970 සමඟි පෙරමුණට ඒ සඳහා අවස්ථාව ලැබුණා. නමුත් එය අපිට මඟ හැරුනා. ඉන් පසුව 1978 දී එජපාය ජනතා මතය විමසන්නේ නැතිව ව්‍යවස්ථාවක් ජනතාව මත පැටෙව්වා. ඒ මතයි අපි තවම ඉන්නේ. නව ව්‍යවස්ථාවක් හදනවා නම් එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් සිදු නොකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අප්‍රසිද්ධව සිදු වූ දෙයක්. ඒ නිසා මෙවර ඉතාම පාරදෘශ්‍ය ලෙසයි ව්‍යවස්ථාව සැකසෙන්නේ. අප කියන සියලු දේ හැන්සාර්ඩ් වාර්තාවේ තිබෙනවා. ඒ නිසයි මා මෙයට සහාය දෙන්නේ.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ජී. ශ්‍රී. නේෂන් මහතා (දෙජාස)- නව ව්‍යවස්ථාව රටේ ජනතාව මුලා කරන එකක් නොවිය යුතුයි. අපි ජනවාර්ගික ප්‍රශ්නය නිසා විශාල ජනතාවක් අහිමි කරගත් රටක්. සියලුම ජනතාව සමානාත්මතාවයෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පදනමක් නව ව්‍යවස්ථාවෙන් ඇති විය යුතුයි. ඒකිය පාලන ක්‍රමයේ අපි විවිධ දුක්ගැහැටවලට මුහුණ දුන්නා. දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කළ දිය යුතුයි.

මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා- බෞද්ධාගම වගේම හින්දු දෙවිවරු ගැනත් අපිට විශ්වාසයක් තිබෙනවා. ඒකයි බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිස හින්දු දේවාලවලට ගිහින් පොල් ගහන්නේ.මේ රටේ සියලු ජාතින් ආගම්වලට අවශ්‍ය ව්‍යස්ථාවක් ගේන්නයි අපිට අවශ්‍ය.සමහර අන්තවාදී අදහස් දරන අය මේ පාර්ලිමේන්තුවට ආවේ ඒ අයගේ ඡන්දවලින් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් මේ අයට ඇඩ්‍රස්වත් නැහැ. නව ව්‍යවස්ථාව සකස් කරනන්න හදන අවස්ථාවේ ඉතිහාසයේ කිසිදා නොතිබූ සම්මුතිවාදයක් පාර්ලිමේන්තුවේ තිබෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙන එන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. ඩලස් අලහප්පෙරුම ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන අදහස් දැකවුවා. හැන්සාර්ඩ් වාර්තාවේ තිබෙනවා ඩලස් අලහප්පෙරුම මහතා ජතාක ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන සිදු කළ කතාව. මෙවර නිදහස් දින උත්සවයට ජාතික ගීය දෙමළෙන් ගැයුවා. එය නාලන්ද එල්ලාවල මහතාගේත් සිහිනයක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස)- උතුරු නැඟෙනහිර යුද්ධය නැතිවීමෙන් පසුව සියලු ජනතාවට නිදහසේ ජීවත්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණ ප්‍රකාශනයේ දිනූ දේශය යළි නොබෙදන එක්සත් ජාතියක් වශයෙන් රකින බවට සඳහන් කර තිබුණා. 19 වන සංශෝධනයත් අපි සිදු කළේ දැඩි බලාපොරොත්තු ඇතිවයි.පොලිස් කොමිසමට මුල්‍ය අපරාධ කොට්ඨාසයක් පිහිටුවන්න බලයක් තිබෙනවාද?

මුල්‍ය අපරාද කොට්ඨාසය සම්පූර්ණ දේශපාලනීකරණය වෙලා.

පාර්ලි‍මේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්‍පෙරුම මහතා (එ.ජා.ප) -කිසියම් අ‍යකු ගන්නා තීරණය සාධාරණීකරණය කළ හැකි එකක් වියයුතු ‍වෙනවා. සාධාරණීකරණය කළ ‍නොහැකි නම් එය නීති වි‍රෝධී එකක් ‍වෙනවා. ‍මෙවැනි නීති වි‍රෝධී ක්‍රියාවන් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කාලය එළඹ ති‍බෙනවා. පසුගිය කාල‍යේ ‍මේ රට ‍බෙදා ‍වෙන් කරන්න ඇතැමුන් උත්සාහ කළා. ජාතික ‍මෙන්ම ආගමික වශ‍යෙන් ද රට ‍බෙදා ‍වෙන් කරන්නට උත්සාහ කළා. එවැනි පාලනයක් පසුගිය කාල‍යේ පැවතීම ‍හේතු‍වෙන් රට පසුබෑමකට ලක් වුණා.

ඇතැමුන් පසුගිය කාල‍යේ නීතියට පිටින් වැඩකොට මහජන මුදල් ‍කොල්ල කෑවා. නීති වි‍රෝධී ක්‍රියාවන් කළ පුද්ගලයන් ද එදා ආරක්ෂා කළා. ඇතැමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ජනතාව‍‍ගේ මුදල් නාස්ති කළා. ර‍ටේ ජාතික මුදල් ‍කොල්ල කන අයත් ‍කොටුකරන ශක්තිමත් ව්‍යවස්ථාවක් අපිට අවශ්‍ය ‍වෙනවා. අ‍පේ අනාගත දරු පරපුර ‍වෙනු‍වෙන් ශක්තිමත් ව්‍යවස්ථාවක් නිර්මාණ්‍ය වියයුතු ‍වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම‍වේදයක් තුළ විවිධ මත දරන්නන් එකතුවන ‍ලෙස ව්‍යවස්ථාව සම්පාදනය කළයුතු ‍වෙනවා.

මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය (‍දෙ.ජා.ස) -ගුණාත්මක ‍දේශපාලන භාවිතය ‍හේතු‍වෙන් ‍දෙමළ ජනතාව පීඩනයට ලක් වුණා. යටත් විජිත පාලන සම‍යේ දී ‍මේ ර‍ටේ සියලු ජන ‍කොටස් එක්ව කටයුතු කළා. නමුත් එයින් පසුව එම තත්ත්වය ‍වෙනස් වුණා. 1957 වස‍රේ දී ඇතිකර ගත් බණ්ඩාරනායක - ‍චෙල්වනායගම් ගිවිසුම විනාශකර දැම්මා. ‍දෙමළ ජනතාව‍ගේ අයිතීන් විනාශ කළා.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා -

1978 වස‍රේ දී සම්පාදනය කළ ව්‍යවස්ථා‍වේ යම් යම් ‍දෝෂ තිබුණා. ඒ යට‍තේ ‍නො‍යෙක් ජනාධිපතිවරු කාල‍යෙන් කාලයට බලයට පැමිණියා. නමුත් මැතිවරණ‍‍යේ දී ‍පො‍රොන්දු වූ පරිදි ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේ මහතා විධායක ජනාධිපති බලතල අ‍හෝසි කරන්න ඉදිරිපත් වුණා. ඇතැමුන් විවිධ වි‍වේචන ඉදිරිපත් කරනවා. ‍මේ පාර්ලි‍මේන්තුව කාරක සභාවක් වශ‍යෙන් ක්‍රියා කරමින් නව ව්‍යවස්ථාවක් ‍ගෙනඒමට පියවර ‍ගෙන ති‍බෙනවා.

තු‍නෙන් ‍දෙකක ඡන්දයකින් ‍මේ ර‍ටේ ව්‍යවස්ථාව ‍වෙනස් කළයුතු ‍වෙනවා. ව්‍යවස්ථාදායක මණ්ඩ‍යේ දී සියලු මන්ත්‍රීන්ට අදහස් ‍යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව සැළ‍සෙනවා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ‍වෙනස් කළයුතු ‍වෙනවා. ‍මේ ර‍ටේ ඡන්ද ක්‍රමය ‍වෙනස් කරන්න ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතාට අවශ්‍යතාව ති‍බෙනවා. ගමට වගකියන මන්ත්‍රීවර‍යෙක් බිහි කළ යුතු ‍වෙනවා. එ‍සේ ‍නොමැතිව ඇතැමුන් ඡන්ද කාල‍යේ දී පමණක් ගමට යන සහ එයින් පසුව ගම අමතක කරන ක්‍රම‍වේදය ‍වෙනස් කළයුතු ‍වෙනවා.

පාර්ලි‍මේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප) - බ්‍රිතාන්‍යයට ව්‍යවස්ථාවක් නැහැ. නිදහසින් පසු අ‍පේ ර‍ටේ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වී ති‍බෙනවා. 1978 ව්‍යවස්ථාව ‍මේ වනවිට‍ අවස්ථා 19ක දී සං‍ශෝධනයට ලක්ව ති‍බෙනවා. ‍මේ ර‍ටේ විශාලතම ප්‍රශ්නයක් වූ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ‍ලෙස 13 වැනි සං‍ශෝධනය සිදුකර ති‍බෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා 19ක දී සං‍ශෝධනය වීම ‍හේතු‍වෙන් එය රටට ‍නො‍ගැල‍පෙන බව පැහැදිලි ‍වෙනවා.

පළාත් සභා‍වේ තිබූ ‍දේශපාලන නිදහස පසුගිය කාල‍යේ ඉවත්ව ගියා. ‍දේශපාලන, ආර්ථික වරප්‍රසාද අහිමි වී ගියා. පළාත් සභාව මධ්‍යම රජ‍යේ අමාත්‍යාංශයක් බවට පත්වුණා. ව්‍යවස්ථා සං‍‍ශෝධනය ඇතිවීම තුළ රට බැරෑරුම් තත්ත්වයට පත්වුණා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස)- මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දයි මාස දෙකක් ගත වුණා.මේ ආණ්ඩුව මේ වෙනකොට ඉන්නේආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල පත් කිරීමේ යෝජනාවේයි. මේක සාකච්ඡා කරන්න මාස 5ක් ගියා . මණ්ඩලය පත් කරන්නත් තවත් කාලයක් යයි. ජව්‍යවස්ථාව ගේන්න අවුරුදු කීපයක් යයි. මේක ගේන්න අවශ්‍ය කාටද?. මේ හරහා අගමැතිතුමා බලන්නේ ලස්සන බෝනික්කෙක් මවලා බලය තියා ගන්නයි. ජනාධිපතිතුමාට අවශ්‍ය වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට මෙය සිදු කරන්නයි. මේ දෙන්නා යන්නේ පාරවල් දෙකක. ශ්‍රී ලංනිපය හැටියට අපි 96 දොනම ඉන්නේ එකට. එන්ජීඕවලට අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධන ගේන්න දෙන්න බැහැ. රටට හිතකර ව්‍යවස්ථාවක් ගේන්නයි අවශ්‍ය වන්නේ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එජාප)- මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අතීතය අමතක වෙලා. මේ රටේ හිටපු නායකයෝ ව්‍යවස්ථාවක් හදනවා තියා ජනතාව උගස් තිබ්බා. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියපු නායකයෝ කළේ ජනාධිපතිකම තවත් ඉස්සරහට ගෙන යාමයි. ජේ ආර් ජයවර්ධන මහතා ජනතාව නීති සම්පාදකයෝ ඇතුළු විවධ විද්වතුන්ගෙන් ව්‍යවස්ථාවට අදහස් ගත්තා. ඒ නිසයි අපිට ව්‍යවස්ථාවක් ලැබුනේ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂා විතානගේ මහතා (එජාප)- විධායක ජනාධිපතිකම රකින්න කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට අත උස්සපු මන්ත්‍රීවරු හිරිකිතයක් නැතිව කතා කරනවා. හැමදාම බලයේ ඉන්න මේ ව්‍යස්ථාව සකස් කරන්නේ නැහැ.78 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා තුනෙන් පහක බලයක් සමඟයි මේ ව්‍යවස්ථාව සකස් කළේ. අද මෙය වෙනස් කරන්න ඕන කියලා කවුරුත් පිළිගන්නවා. ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයක් පිහිටුවලා මේ කටයුතු කරන්නයි සූදානම් වෙන්නේ .

පාර්ලි‍මේන්තු මන්ත්‍රී මුජුබර් රහුමා‍න් මහතා (එ.ජා.ප) -නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය ‍වෙනවා. ජනාධිපතිවරයා ව‍ගේම අගමැතිවරයා මැතිවරණ ‍වේදිකා‍වේ ප්‍රකාශ ක‍ළේ නව මැතිවරණ ක්‍රමයක් ‍මෙන්ම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. අපි සැම ඒ සම්බන්ධ‍යෙන් කතා කළා. එජාපය හඳුන්වාදුන් ව්‍යවස්ථාව ‍මේ ර‍ටේ විවිධ පාර්ශ්වයන් වි‍වේචනය කළා. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ඔවුන් ප්‍රකාශ කළා. එයින් විවිධ මත ප්‍රකාශ කළා. පසුගිය කාල‍ය පුරා සියලු ‍දෙනාම ඒ සම්බන්ධ‍යෙන් වි‍‍වේචන කළා.

ඇතැම් ‍දේශපාලන පක්ෂ ‍මේ ව්‍යවස්ථාව සම්බන්ධ‍යෙන් කළු ‍කොඩි දැම්මා. මැතිවරණ සම‍යේ දී නව ව්‍යවස්ථාවක් ‍ගෙන එන බවට ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ‍මේ ර‍ටේ ජනතාව ආරක්ෂා කරන සහ ජනවාර්ගික අර්බුදයට ‍දේශපාලන විසඳුමක් ‍දෙන්න අවස්ථාව ලැබී ති‍බෙනවා. ඒ අවස්ථාව නැති කරන්න ඇතැමුන් ක්‍රියා කරනවා. ‍මේ ව්‍යවස්ථාව ‍වෙනස් කළයුතු බව කියා එදා ජනතා විමුක්ති ‍පෙරමුණ රට ගිනි තිබ්බා. අපි ‍මේ යන්නේ සමඟි‍යෙන් ජීවත් වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නයි.