29032024Fri
Last update:Mon, 04 Mar 2024

සහයෝගිතා ගිවිසුම්වලට බියවිය යුතු නැහැ

Ranil Wickramasinghe Dec4ලෝකයේ විවිධ රටවල් සමඟ අස්සන් කිරීමට සැරසෙන සහයෝගිතා ගිවිසුම් සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැති බවත්, එවැනි ගිවිසුම් අස්සන් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) අවධාරණය කළේය. වත්මන් රජය මේ සියල්ල සිදුකරන්නේ රට වෙනුවෙන් හා රටේ අනාගතය වෙනුවෙන් බවත් තව දුරටත් ළිං මැඩියන් සේ කටයුතු කළ නොහැකි බවත් අගමැතිවරයා පැවසීය. වේගයෙන් ඉදිරියට යන ලෝකයත් සමඟ වේගවත්ව ඉදිරියට යායුතු අතර පුළුල් මනසකින් ලෝකය දෙස බැලිය යුතු බවද අගමැතිවරයා පැවසීය. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම පිළිබඳව ඇතැම් කණ්ඩායම් වැරැදි මත පතුරුවාලීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ ගීතයක සඳහන් පරිදි අප පමණක් එක තැන කැරකෙමින් නොසිට ලෝකය සමඟ ඉදිරියට යායුතු බවයි. වත්මන් රජය විවිධ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කරන්නේ ලෝකය ජයගැනීමේ අරමුණින් බවත් වත්මන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනවරමක් ලැබී ඇති බවත් පැවසීය.ජනවරමට විරුද්ධ වන්නේ ජනතා පරමාධිපත්‍ය නොතකන ජනතාද්‍රෝහීන් හා තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරන අධිපතිවාදීන් පමණක් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර චීනය,සිංගප්පූරුව,තුර්කිය වැනි රටවල් ගණනාවක් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සළකා බලන බවත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන මාර්තු 4 වැනිදා ඉන්දීය දූත පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බවත් අගමැතිවරයා අනාවරණය කළේය. සිතේ මවාගත් බිල්ලෙක් ගැන කියමින් ජනතාව මුලා කිරීම සාධාරණ නොවන අතර සාකච්ඡා මට්ටමේ ඇති ගිවිසුමක් ගැන මිත්‍යා මත ඇතිකිරීම යුක්ති සහගත නොවන බවද හෙතෙම පැවසීය.