19042024Fri
Last update:Thu, 18 Apr 2024

ජර්මානු පාර්ලිමේන්තු කණ්ඩායමක් මාර්තුවේ ශ්‍රී ලංකාවට

german parliamentශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා විමසා බැලීම සඳහා ජර්මන් ජනරජයේ ඉහළ මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු මාසයේදී මෙරටේ සංචාරයක නියුතු වන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පර්මන් ජන රජයේ ඇරියුමකට එහි කළ නිල සංචාරයේදී එරට රාජ්‍ය නියෝජිතයන් සමඟ කළ නිල සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ පියවරයන්ට ප්‍රවිෂ්ඨ වී ඇත.

පසුගිය සතියේදී ආයෝජන සමුළුවක් හා ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය හා උචිත මාර්ග පිළිබඳව ඇගයීමක් කිරීම සඳහා එරටේ පාර්ලිමේන්තු කණ්ඩායමක් මාර්තු මස අගදී මෙරටට පැමිණෙන බව ද කරුණානායක මහතා කීවේය.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ කරන ආයෝජන වැඩි කිරීමට චීනය ද උනන්දුව දක්වන බවත් ආයෝජන කලාපයක් බිහිකිරීම සඳහා හම්බන්තොටින් ඉඩම් ලබාගැනීමේ අපේක්ෂාවක් චීනය පෙන්වා ඇති බවත් කීවේය.

චීනයේ හාබර් ඉංජිනේරු සමාගම ඉදිරිපත් කර ඇති ආයෝජන යෝජනාවලිය රජයේ දැඩි අවධානයට පාත්‍රවී ඇති බවද, එම යෝජනාවලිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ඇගයීමට භාජනය වන බවද අනාවරණය වේ.

‘දිනමිණ’ට වාර්තා වන අන්දමට සංවර්ධන ව්‍යාපෘති ඒකාබද්ධ කෙරෙන මෙම ආයෝජන කලාප යෝජනාව අනුමත වුවහොත් මෙම ප්‍රදේශයේ පිහිටි ප්‍රමාණවත් ලෙස උපයෝගි කර නොගත් අති විශාල (මෙගා) ව්‍යාපෘති දෙක වන මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපළ සේවා උපරිම අන්දමින් උපයෝගි කරගනු ඇත.

වෙනත් රටවලින් මෙරටට ආයෝජකයන් කැඳවාගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ විශාල කාර්මික ආයෝජන කලාපයක් ඇතුළු අතිවිශාල ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාවලියක් සිංගප්පූරුව මඟින් ත්‍රිකුණාමලයේ ආරම්භ කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සිංගප්පූරු ආයෝජන යෝජනාවලිය අනුමත වුවහොත් එය විවිධාකාර භෞතික හා මානුෂික යටිතල පහසුකම් පද්ධතියකින් සමන්විතවූ ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාවලියක් වනු ඇතැයි ඉහළ මට්ටමේ ආරංචි මාර්ගයක් ‘දිනමිණ’ට හෙළි කළේය.මේ වනවිට මෙරටේ පවතින ප්‍රධාන ආයෝජන කලාප රාශියක ප්‍රධාන ආයෝජකයා ලෙස චීනය සමඟ සිංගප්පූරුව ද එක්ව සිටින අතර, මෙම රටවල් දෙකම ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි ආයෝජන කලාපවල ද ආයෝජනයන් සිදුකර ඇත. චීනය විසින් ලබාදී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වුවහොත් අප රටට ආයෝජකයන් අහිමිවනු ඇතැයි ද අගමැතිවරයා කීවේය.