25042024Thu
Last update:Thu, 18 Apr 2024

තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සමිති ව්‍යාපාරිකයින් ජනපති හමු වෙති

0f06feb16de97eda30e6e56c4572beb5 Lකොළඹ වෙළඳ සංගමය හා උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමයේ ව්‍යාපාරිකයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදි ඔවුන් නියෝජනය කරන ව්‍යාපාරවල පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදනවලට පනවා ඇති බදු හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව මෙහිදි ජනාධිපතිතුමා දැනුවත් කළ ව්‍යාපාරිකයෝ, එම බදු පහත දමා සහන සලසා දෙන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

තම ගැටලු ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මෙහිදී එම ව්‍යාපාරිකයින්ට දැන් වූ ජනාධිපතිතුමා අදාළ නිළධාරින් ගෙන්වා සාකච්ඡා කර එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව ප‍්‍රකාශ කළේය.

ලබන ජූලි මස යාපනයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමූපකාර දින උළෙල සඳහා සහභාගී වන ලෙස උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමය මෙහිදී ජනාධිපතිතුමා වෙත ආරාධනා කර සිටියේ ය.

එමෙන්ම කොළඹ වෙළඳ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

අමාත්‍ය මනෝ ගනේෂන්, කොළඹ වෙළඳ සංගමයේ සභාපති අල්හාජ් වයි.එම්. ඊබ‍්‍රහිම්, එම සංගම් ලේකම් තවඥානසූරියම්, උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමයේ සභාපති නාකන් කනේෂන්, සාමාන්‍යාධිකාරී පී. සෙල්වරාජා ඇතුළු ව්‍යාපාරිකයින් මෙම හමුවට එක්ව සිටියහ.