වර්තමානයේ හාමුදුරුවරුන්ගේ පිරිහීමක් දක්නට තිබෙනවා. තමන් බුදු චීවරයට අනුව හැසිරෙනවාද කියා හාමුදුරුවරුන් කල්පනා කළ යුතුයි. තමන් තුළ සංවරයක් නැතිනම් එම හාමුදුරුවරුන් සිවුරක් දමාගෙන සිටියාට සිවුරට ගැලපෙන්නේ නැතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසූහ.
ඒවගේම භික්ෂූන් වහන්සේ නමකට චණ්ඩියෙකුගේ චරිතයක් රඟපාන්න බැහැ. චණ්ඩියෙකුගේ චරිතයක් භික්ෂුවක් තුළ තිබෙන්න බැහැ. එය භික්ෂුවකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. භික්ෂුවකට යම් සීමා තිබෙනවා. යම් භික්ෂුවක් ඒ සීමාවන් පැන්නුවහොත් ඒ භික්ෂුව තවදුරටත් පැවිදි භූමිකාවට ඇතුළත් වන්නේ නැතැයි ද උන්වහන්සේ පැවසූහ.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ඒ බව සඳහන් කළේ පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75වන සංවත්සරික මහෝත්සවයට සහභාගි වෙමිනි.
පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 31 වැනිදා පස්වරුවේ මේ උත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මේ උත්සව සභාවේ මුලසුන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ හෙබවූහ.
මෙහිදී පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය විසින් ප්‍රකාශයට පත්කළ බොදු නැණ පහන ශාස්ත්‍රීය ග්‍රන්ථය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම එම තරුණ බෞද්ධ සමිතියේ සභාපති සාමවිනිසුරු ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා අතින් සිදුවිය.
2015 සමස්ත ලංකා සිසු නිපුණතා ප්‍රාදේශීය අදියර ප්‍රථම ස්ථාන හිමිකර ගත් කැස්බෑව ශාසනාරක්ෂක මණ්ඩලයේ කලාප අංක 1 සහ 2 දහම් පාසල් සිසු දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද පැවිදි ගිහි ආරාධිත ප්‍රභූන් අතින් සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ මෙසේද කීහ.
තරුණ බෞද්ධ සමිතියක අරමුණ බෞද්ධයා ශක්තිමත් කිරීම බෞද්ධකම රැකගැනීම සභා ආරක්ෂා කිරීමයි. ඒවාගේම සංඝයා වහන්සේලා බෞද්ධ පුනරුදය වෙනුවෙන් සිදුකරනු ලබන වැඩපිළිවෙළවල්වලට සහයෝගය දැක්වීමයි. තරුණ බෞද්ධ සමිතියකින් විය යුත්තේ මෙයයි.
එදා මේ රටේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් කියා එකක් තිබුණා. එය සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒ අය කළ දේවල් අප දන්නවා. ඒවගේම අපි අදත් නැති දේවල් ඇතිකරගෙන බොහෝ දේවල්වල පැටලී සිටිනවා.
අද මේ රටේ රජවරුන් නැහැ. අද සිටින්නේ සේවකයන්. ඒ අයට මේ රටේ සංඝයා වහන්සේලා වෙනුවෙන් අලුතින් නීති පැනවීමට අයිතියක් නැහැ. සංඝයා වහන්සේලා වෙනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළ විනය නීති මාලාවක් තිබෙනවා.
වර්තමානයේ හාමුදුරුවරුන්ගේ පිරිහීමක් දක්නට තිබෙනවා. තමන් බුදු චීවරයට අනුව හැසිරෙනවාද කියා හාමුදුරුවරුන් කල්පනා කළ යුතුයි. තමන් තුළ සංවරයක් නැතිනම් එම හාමුදුරුවරුන් සිවුරක් දමාගෙන සිටියාට සිවුරට ගැලපෙන්නේ නැහැ.
ඒවාගේම භික්ෂූන් වහන්සේ නමකට චණ්ඩියෙකුගේ චරිතයක් රඟපාන්න බැහැ. චණ්ඩියෙකුගේ චරිතයක් භික්ෂුවක් තුළ තිබෙන්නට බැහැ. එය භික්ෂුවකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. භික්ෂුවකට යම් සීමාවන් තිබෙනවා. යම් භික්ෂුවක් ඒ සීමාවන් පැන්නුවහොත් ඒ භික්ෂුව තවදුරටත් පැවිදි භූමිකාවට ඇතුළත් වන්නේ නැහැ.
අද සිංහ ලේ කියා අලුත් සෙල්ලමක් මේ රටට ඇවිත් තිබෙනවා. සිංහ ලේ කියන්නේ සිංහයාගේ ලේ වලටයි. සිංහ ලේ වලින් හැදුණු ජාතියක්ද අපි? මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. කතන්දරයක් පමණයි. අප සිංහ කියන පදය යොදා ගත්තේ ප්‍රෞඩත්වය හඟවන වචනයක් හැටියටයි.
මේ රටේ නැවත ලේ වැගිරීමක් වෙනවාට අප කැමැති නැහැ. නමුත් මේ අය කටයුතු කරන්නේ මේ රටේ යළිත් ලේ වැගිරීමක් කරන්නටයි. ඒ නිසා මේවා පිටුපස සිටින්නේ කවුද කියා සොයා බැලිය යුතුයි.
නීතියක් නැති එකම ආගම බුදු දහමයි. බුදුන් වහන්සේ අපට නීති පනවා නැහැ. ක්‍රිස්තියානි ආගමේ ‘ක්‍රමාන්’ කියා නීතියත් තිබෙනවා. නමුත් බුද්ධාගමේ එහෙම නීති නැහැ. බුද්ධාගම සංයමයෙන් පවත්වාගෙන යන ආගමක්.
ධර්මය පිළිබඳව දැනට කතිකාවක් තිබෙනවා. ඒ කතිකාව තුළින් කළ වැරැදි සාදාගත යුතුයි. බුද්ධාගම පටු නොවූ පළල් ආගමක්. අප සියලු දෙනාම සමගියෙන් හා සාමදානයෙන් ජීවත්විය යුතුයි. ඒ නිසා තරුණ තරුණියන් වැඩි වශයෙන් තරුණ බෞද්ධ සමිතිවලට සහභාගි කරවා ගන්න කියා මා මේ අවස්ථාවේදී තරුණ බෞද්ධ සමිතිවලින් ඉල්ලා සිටිනවා.
සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක අඹේවෙල පඤ්ඤාසාර නාහිමි
අද අප රටේ දවසින් දවස විවිධ සමිති සංවිධාන බිහිවෙනවා. ඒවාගේම ඉන් බොහොමයක් අතරමඟ නතර වෙනවා. නමුත් පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය වසර 75ක් පුරා අඛණ්ඩවම පවත්වාගෙන එනවා.
මේ සමිතියෙන් පිළියන්දල ප්‍රදේශයට පමණක් නොව සල්පිටි කෝරළයටම බෞද්ධ කටයුතු රාශියක් සිදුකරනු ලබනවා. ඒ නිසා මේ තරුණ බෞද්ධ සමිතිය සල්පිටි කෝරළයටම ආදර්ශයක්.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි
ශ්‍රී ලංකාවේ තරුණ බෞද්ධ සමිති පද්ධතිය දිවයිනේ පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉතා වටිනා මහඟු සේවාවක් ඉටුකරනවා. ඒ තරුණ බෞද්ධ සමිති අතුරින් පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන යමින් මේ ප්‍රදේශයට සුවිශාල සේවාවක් සිදු කරනවා.
පිළියන්දල වෑවල සැලීනා අල්විස් ගුණරත්න වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාම පිළියන්දල දහම් පාසල පවත්වාගෙන ගොස් තිබීම අඛණ්ඩව පෝය ධර්ම දේශනා මාලා සහ බෞද්ධ දේශන පවත්වාගෙන යාම ආදි ගෞරවනීය සේවාවන් එම සුවිශාල සේවාවන් අතර කැපීපෙනෙනවා.
මේ සමිතියේ වත්මන් සභාපති ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා ප්‍රමුඛ පාලක කාරක සභාවේ කැපවීම නිසා පවත්නා ක්‍රියාශීලී දියුණුව අප අගය කළ යුතුයි.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති ගාමිණී ලොකුගේ මහතා
පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය පිළිබඳව දීර්ඝ කාලයක සිට අප හොඳින් දන්නවා. එම කාලය තුළ මේ සමිතිය විසින් ප්‍රදේශය තුළ ආගමික සාමාජීය හා සංස්කෘතික වශයෙන් සේවාවන් රැසක් ඉටුකර තිබෙනවා.
මේ සමිතිය ප්‍රදේශයේ බෞද්ධ කාන්තා පිරිස ඒකරාශී කරගෙන බෞද්ධ කාන්තා සංවිධානයක්ද සමිතියට අනුබද්ධව පිහිටුවාගෙන කාන්තා සුබසිද්ධිය වෙනුවෙන් ද ඉමහත් සේවයක් සිදුකරනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සමාජයේ අංශාධිපති සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා
මේ උත්සව සභාව මනහර සංස්කෘතික සභාවක් පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය ආරම්භ කොට වසර 75ක් පමණ පිරෙනවා. මේ සමිතිය ආරම්භ කළේ උගතුන්, ව්‍යාපාරිකයින් සහ බෞද්ධ උපාසකවරුන් වැනි වැඩකරන උදවියයි.
දහනවවන සියවසේදී විවිධ සමිති සංවිධාන මේ රටේ බිහිවුණා. පිළියන්දල තරුණ සමිතිය ආරම්භවී තිබෙන්නේ 1941 වසරේදීයි.
අපේ සාහිත්‍යයන් අතර බෞද්ධ සාහිත්‍යය ප්‍රධානයි. අද භාෂාවේ විශාල ගැටලුවක් තිබෙනවා. ඒ නිසාම ප්‍රශ්න ගොඩක් පැන නැඟී තිබෙනවා. අපේ උරුමයන් අද අපේ සංස්කෘතිය තුළ නැහැ.
අපි බුදු දහම ඉගෙන ගන්නවා. නමුත් අපි ඉගෙනගෙන තිබෙන්නේ මොනවාද කියා හැසිරීම් තුළින් පැහැදිලි වෙනවා.
අපට නිසි මග කියා දුන්නේ අපේ සඟරුවනයි. නමුත් අද අපේ උරුමයන් නැහැ. අද මේවා ආල පාළු වෙලා ගොස් තිබෙනවා. අද වැඩිහිටියන්ට දරුවන්ගේ අනාගතය ඉදිරියට ගෙනියන්න ලොකු උවමනාවක් තිබෙනවා.
අද අපේ දරුවන්ට රජයේ පාසල් වලින් ලබාදෙන දැනුම ප්‍රමාණවත් නැහැ. ඒවාගේම අපේ රට අද ආර්ථික වශයෙන් කඩා වැටීමකටද ලක්වී තිබෙනවා.
අද විවාහ මංගල උත්සවවල ඡායාරූප ගැනීමේ නව සංස්කෘතියක් බිහිවී තිබෙනවා. මීට අමතරව තවත් යම් යම් දේ සඳහා මුදල් වැයකරනවා. අපේ බෞද්ධකම මේකද?
අද සිංහල බෞද්ධ අපට කළයුතු වගකීම් හා යුතුකම් කොටසක් තිබෙනවා. ඒ නිසා අපි අනෙකාට ඇගිල්ල දිගුකරලා වැඩක් නැහැ.
පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ සභාපති සාමවිනිසුරු ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා උත්සව සභාවේ පිළිගැනීමේ කතාව කළ අතර පාලක කාරක සභික ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතා ස්තුති කතාව පැවැත්වීය.
ප්‍රදේශයේ මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන්, වියතුන්, ව්‍යාපාරිකයන්, පාසල් සිසුන්, මවුපියන් ඇතුළු විශාල පිරිසක් මේ උත්සවයට සහභාගි වූහ.