17072024Wed
Last update:Wed, 08 May 2024

චෝදනා ගොනුකර උධෘත නීතිපතිවරයාට

01 yoshithaබන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සිව් දෙනාට එරෙහිව ඇති චෝදනා ගොනුකර මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නිතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

කාල්ටන් ස්පෝර්ට් නේට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනයට මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය යන චෝදනා එල්ල කරමින් 15.03.2015 වන දින සාධාරණ සමාජයක් සඳහා වු පුරවැසියෝ නම් සංවිධානය විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකව සිදු කරන බරපතළ ඝනයේ අපරාධයක් බවත් ඒ අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බි 9823 / 2015 යටතේ කරුණු වාර්තා කළ බවත් මේ දක්වා අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20 ක් ඉදිරිපත් කර ඇති අතර එමගින් විමර්ශනයේ ප්‍රගතිය අධීකරණයට වාර්තා කර විමර්ශන සඳහා අවශ්‍ය නියෝග ලබා ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම විමර්ශනය සිදු කරන ලද්දේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සාමාන්‍ය අපරාධ නීතිය අනුව වෙනත් ඕනැම පොලිස් නිලධාරියකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගී කර ගනිමින් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව මූලික වශයෙන් විමර්ශන නිලධාරීන්ගේ විමර්ශනයට ලක්වුයේ කාල්ටන් ස්පෝර්ට් නේට්වර්ක් (CSN) නාලිකාව සඳහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග් ධනය වු රුපියල් මිලියන 234 ක් ලබා ගෙන තිබු ආකාරය වේ. සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්‍ෂ හතරක් (700004) වු අතර එහි වටිනාකම රුපියල් මිලියන 7ක් බව අනාවරණය විය. ඉතිරි ප්‍රාග් ධනය ලැබුණු ආකාරය ගැන විමර්ශන කිරිමේදි ඒවා ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නිත්‍යානුකූල නොවන ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් බවට අනාවරණය වි ඇත. විදේශිය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ගනු-දෙනුවක් තුළින් කාල්ටන් ස්පෝර්ට් නේට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග් ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබි ඇති බව විමර්ශනයේ දී හෙළි වී ඇත. මෙම ගනු-දෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශ සමාගමක අයෝජනයක් මත සිදු කරන ව්‍යාපෘතියකි.

වැඩිදුරටත් අනාවරණය වුයේ එම මුදල් (CSN) ආයතනයට ලැබුනේ යයි කියන ක්‍රමවල අදාළ ගනු-දෙනු, පෙන්වා දි සිටින ආකාරයෙන් සත්‍යය වශයෙන් සිදුවි නොමැති බවය. එබැවින් ආරම්භක ප්‍රාග් ධනය ලෙසට යෙදවු මුදල්, විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරිමට නෛතික හා සිද්ධීමේ පදනමක් උද්ගත වි ඇත.

මෙම සමාගමේ ලේඛනවලට අනුව මෙහි කොටස්කරුවන් සියලු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන අතර ඔවුන් රෝහණ වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව වේ.

ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය. සමාගමේ ගනු-දෙනුවලට අදාළ විද්යුත් තැපැල් පණිවිඩ අධ්‍යනය කිරිමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වි ඇත්තේ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගමේ සභාපතිවරයා ලෙසට සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවය.

මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්න කිරිමේ දී, ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ කරන ලද කරුණු තුළින් ඔවුන්ගේ නිර්දෝශි භාවය අනාවරණය නොවී ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 (05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියකු සතු නෛතික බලය ඉෂ්ඨ කරනු වස් මෙම සැකකරුවන් කඩුවෙළ මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් පෙ‍බරවාරි 11 දක්වා බන්ධනාගාර ගත කරන ලදි.

ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කූට ලේඛන පිළියෙළ කිරීම, සාපරාධි විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදු කර ඇති බව අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.‍

රාජ්‍යය දේපළ අවභාවිතය සිදු කිරීමෙන් අපරාධ වරදවල් සිදුකර ඇති බවට ද අනාවරණය වෙමින් පවතින බව ද මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශන කටයුතු සාර්ථකව හා නිවැරදි ලෙස සිදු කිරීමට නොහැකි බව ද එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවු බව ද සියලුම විමර්ශන කටයුතුවලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උධෘත ගොණු ගරු නීතිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සී.එස්.එන් නාලිකාවේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ ශාඩියා කරුණාජීව නැමැත්තිය විදේශගතව ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.