06052024Mon
Last update:Thu, 18 Apr 2024

රජයේ තීරණ අබිබවා යන්න අධිකරණයට අවශ්‍ය නැහැ

01 rajayeකොළඹ වරාය නගර සංවර්ධන (පෝට් සිටි) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය මේ වන විට සාධනීය පියවර ගෙන ඇතැයි පෙනී යන බව අභියාචනාධිකරණය ඊයේ (25) සඳහන් කළේය.

‍එම සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධ නව පරිසර වාර්තා කැඳවීම, ඒ සඳහා අදහස් දැක්වීමට ජනතාවට අවස්ථාව ලබාදීම, ජනතාව දැනුම්වත් කිරීම, තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබීම යනාදිය එම සාධනීය පියවර බව

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රකාශ කළේය. එබැවින් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය විසින් ‍යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී එය අබිබවා කටයුතු කිරීමේ අවශ්‍යතාව අධිකරණයට නැතැයි සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. පෝට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා ඒ බව සඳහන් කළේය.

සීමාසහිත පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ නීතිපතිවරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් කොට සිටිති. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය සහ කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බවය. අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇති සහනය දැනටමත් ලැබී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේය. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම නැවත සලකා බැලීම ලබන මාර්තු මස 16 දිනට කල් තැබීමට තීරණය කළේය.

කොළඹ ගාලු මුවදොර පිටිය ඉදිරිපිට අක්කර 575ක මුහුදු ප්‍රදේශයක් පුරවා නගරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් සිදු කරන බව පෙත්සමෙහි දැක්වේ.

ඒ සම්බන්ධයෙන් කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තාවෙහි සඳහන් සීමාව ඉක්මවන අක්කර ප්‍රමාණයක් පිරවීමට චීන සමාගම කටයුතු කර ඇතැයි පෙත්සමෙහි සඳහන් වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත සහ වෙරළ සංරක්ෂණ පනත අනුව මෙවැනි ව්‍යාපෘති කළ නොහැකි බවද පෙත්සමෙහි සඳහන් වේ. දැනට කැඳවා ඇති පරිසර තත්ත්ව වාර්තා වෙනුවට නව පරිසර තත්ත්ව වාර්තා කැඳවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.