06052024Mon
Last update:Thu, 18 Apr 2024

අද පටන් අරගෙන හෙට අවසන් කළොත් අරමුණ ඉටු වන්නේ නැහැ

24 ada 01ශ්‍රී ලාංකීය අනාගත පරපුර නිරෝගි පිරිසක් බවට පත් කරලීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත් බෙහෙවින් කාර්ය බහුල මාධ්‍යවේදින්ගේ නිරෝගිකම රැක ගතයුතු බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

 නිරෝගී පරපුරක් බිහිකිරිම සඳහා සෑම ආයතනයක් මුල්කර ගනිමින් යම් වැඩසටහනක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටි ඇමැතිවරයා ඒ සඳහා තම අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබාදෙන බවද කියා සිටියේය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ මාධ්‍ය ආයතන සඳහා ඊයේ (25) පෙරවරු 7.30ට පැවති ශරීර සුවතා වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය. ජාතික ශරීර සුවතා සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එය ඊයේ ආරම්භ විය. රාජ්‍ය ආයතන මෙන්ම සියලුම පෞද්ගලික ආයතන ද සම්බන්ධ කර ගනිමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

අද අපි අපේ අමාත්‍යංශය සම්බන්ධ වෙලා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. මීට ටික දිනකට කලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වමින් ගනු ලැබූ තීරණයකට අනුව අපේ රටේ අනාගත පරපුර නිරෝගී පිරිසක් බවට පත් කිරීමට නම් අපට වැඩ කටයුතු රාශියක් සිදුකළ යුතුව තිබෙනවා. අද පාසල් දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා විශේෂයෙන්ම බෝ නොවන රෝගවලට ගොදුරු වෙනවා. සංඛ්‍යා ලේඛන දිහා බලන විට විශාල වර්ධනයක් දක්නට තිබෙනවා. මේක අපිට ලොකු අභියෝගයක්. ඒ නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳ මැදිහත් වෙලා අගමැතිවරයා මෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා ඒ අමාත්‍යංශයේ අයත් අනෙකුත් අමාත්‍යංශ සියල්ලත් සම්බන්ධ කර මේ පිළිබඳව වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සුදුසුයි කියා තීරණය කළා. එතැනදී ගත්තු තීරණයක් අනුව පළමුවන අදියර ලෙස ජාතික ශරීර සුවතා සතියක් නම් කර අද සිට සතියක්ම රාජ්‍ය ආයතනත් පෞද්ගලික ආයතනත්, පාසල් සියල්ලම සම්බන්ධ කර මේ වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි තීරණය කළා.

ජනමාධ්‍ය අමාත්‍යංශය සම්බන්ධ වී අපේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක දී ගත් තීරණයක් අනුව අද දවසේ සියලු ආයතනවලට ආරාධනා කර කැමැති හැමකෙනාම සම්බන්ධ කර මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ආරම්භක දිනයේදීම තීරණය කළා. අද දවසේ හිමිදිරි පාන්දරම දුෂ්කරතා රාශියක් මැද අතිවිශාල පිරිසක් ඒ වැඩසටහනට සම්බන්ධ වෙමින්, ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ ආයතන හැම එකක්ම මෙයට සහයෝගය දක්වමින් අති විශාල පිරිසක් මේ ආරම්භක අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඒ සියලු දෙනාම සම්බන්ධ වීම ගැන අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.

24 ada 02

මෙය අදින් පටන් අරන් අවසන් කළොත් අපේ අරමුණ ඉෂ්ටවීමක් සිදුවන්නේ නැහැ. අපි දන්නවා තමුන්නාන්සේලාට උදේට වැඩට එනවා කියන එකත් ලොකු යුද්ධයක් කරන්න වෙනවා. ගමනාගමනයේ තිබෙන අඩුපහසුකම්, අද තිබෙන මාර්ග තදබදය හේතුවෙන් විශාල වෙලාවක් ගමනාගමනයට වෙන් කරන්න වෙනවා. මේ සියල්ල අපි ප්‍රායෝගිකව දකින ගැටලු වෙනවා.

රාජකාරි වගේම, ඔබේ සේවය වගේම ඔබේ නිරෝගීකමත් අත්‍යවශ්‍යම කාරණයක් කියන එක අපි කවුරුත් කල්පනා කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී මෙය දිනපතාම යම් වැඩපිළිවෙළක් ආයතන මට්ටමින් ඔබ ක්‍රියාත්මක කරන්න සැලසුම් කර අපට යෝජනා දෙන්නේ නම් අපිට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කර යම් වැඩපිළිවෙළක් නිශ්චිතව දිනපතාම එයට කැමැති අයට කැමැති දවසක සම්බන්ධ වන විදියට කැමැති කාල සීමාවක් ඒ වෙනුවෙන් වෙන් කරන්න.

වැඩට එන අයට එන ගමන් එයට වෙන් කරන්න පුළුවන් අපිට අමාත්‍යංශයක් විදියට අවශ්‍ය පහසුකම් වෙන් කරන්න වෙයි. ඊට පසු පිරිසිදු වෙලා නැවත රාජකාරියට යන්න පුළුවන් විදියට පසුබිම සකස් කරන්න වෙනවා. එය අපිට ආයතන මට්ටමින් කළ හැකි වෙනවා. මොකද අද මේ තරම්ම මේ ප්‍රශ්නය බරපතළයි. හැමකෙනාම තමාගේ නිරෝගීකම සම්බන්ධයෙන් පළමුව කල්පනා කළ යුතු වෙනවා.

එය කරන කොට අපිට අවශ්‍ය කරන අනිකුත් පහසුකම් සැපයීම පිළිබඳව සාකච්ඡා කර අදහසක් දෙනවානම් රාජකාරී වෙලාවේ යම් කාල සීමාවක් අපට ඒ වෙනුවෙන් වෙන්කළ හැකි වෙනවා. අවශ්‍යනම් සවසට පුළුවන් නැතිනම් සවසට පුළුවන් එසේත් නොමැතිනම් උදේට කැමැති අයට උදේට පුළුවන් හවසට කැමැති අයට සවසට පුළුවන්. පැයක් කෙසේ වෙතත් පැය භාගයක් හරි අපට ඒ වෙනුවෙන් වෙන් කළ හැකිනම් එය සාර්ථක වෙයි කියා විශ්වාස කරනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ කටයුත්තට සූදානම් කියන එක මා සිහිපත් කරනවා. මේ වෙලාවට එනවා කියන එක ලේසි නැහැ. නමුත් ඔබලාගේ තිබෙන උනන්දුව හේතුවෙන් විශාල පිරිසක් සහභාගි වි සිටිනවා. ක්‍රීඩා ඇමැතිවරයා අපේ ආරාධනයෙන් සහභාගි වෙලා විශාල සහයෝගයක් අපිට ලබාදෙනවා. අමාත්‍යංශයක් හැටියට ජනමාධ්‍ය අමාත්‍යංශය, ජනාධිපතිතුමා අමාත්‍යංශයක් හැටියට අපිට කරපු ඉල්ලීමට මේ දක්වන ලද ප්‍රතිචාරය සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. ආරම්භය අපි අද දුන්නා වගේම මෙහි ඇති වටිනාකම් හැමදෙනාම අවබෝධ කරගත්තා සේම අනිත් අයටත් මෙය තේරුම් කර ආයතන මට්ටමින් මෙය ප්‍රායෝගිකව දිනපතාම තමන්ගේ ආයතනයේ දී යම් කාලසීමාවක් මේ වෙනුවෙන් වැය කිරීමට සූදානම් විය යුතු වෙනවා. ඒ පිළිබඳ වැඩපිළිවෙළක් අප අමාත්‍යංශයට යෝජනා කරන්න අපි ඊට අවශ්‍ය පසුබිම සකස් කරන්න අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. කියන එක ප්‍රකාශ කරමින් අපට මේ සඳහා ආයතන ප්‍රධානීන් විශාල ලෙස සහයෝගය ලබාදෙමින් මේ කටයුත්තට මාධ්‍ය මගින් විශාල ප්‍රතිචාරයක් ලබාදීම තුළිනුත් අපේ සාමාන්‍ය ජනතාවට මේක කාවද්දන්න පුළුවන් කියන හැඟීමක් අපි තුළ තිබෙනවා.

අපට දේශපාලනඥයන් හැටියට මැති ඇමැතිවරුන්ටත් උපදෙස් දුන්නා. තමන්ගේ මැතිවරණ කොට්ඨාස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැටියට ක්‍රීඩා සමිති සියල්ලම සම්බන්ධ කරගෙන ඒ ප්‍රදේශවලදීත් මේ සතිය ඇතුළත් තමන්ගේ නායකත්වය යටතේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඒ වගේම හැම අවස්ථාවක්ම ජනමාධ්‍යයෙන් ප්‍රකාශ වන විට ජනතාව තුළත් මෙහි ඇති අවශ්‍යතාව වැඩි‍ වෙනවා. මෙහි ඇති අවශ්‍යතාව අනුව වයස් බේදයක් නැහැ. ඒ නිසා හැම කෙනාම මේ කටයුත්තට පුරුදු පුහුණු කර ගැනීමේ අවශ්‍යතාව රජයක් හැටියටත් කල්පනා කර තිබෙනවා.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.