17072024Wed
Last update:Wed, 08 May 2024

විදේශ ආයෝජකයන්ට අගමැතිගෙන් ආරාධනා

04col183728625 3946872 20012016 sis cmyචීන ආයෝජකයන් ඇතුළුව ලෝකයේ ඕනෑම රටක ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා ලබාදීමට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ඊයේ (20) ප්‍රකාශ කළේය.

අගමැතිවරයා චීන ආයෝජකයන් ඇතුළුව ලොව පුරා සිටින ආයෝජකයන්ට මේ ආරාධනාව කළේ ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී බව අගමැති අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා 'දිනමිණ'ට පැවැසීය. කොළඹ වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක බැවින් චීන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරැයුම් කළ අගමැතිවරයා ඔවුන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ද මේ වනවිටත් විදෙස් ආයෝජකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ද මෙහිදී ප්‍රකාශකර තිබේ. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ මහා පරිමාණ වෙළඳ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ හමුවක් ද ඊයේ පැවැත්විණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ලෝක නායකයන් රැසක් ඇතුළු ආර්ථික විශේෂඥයන් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ 2016 ලෝක ආර්ථික සමුළුව ඊයේ (20) ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී ඊයේ (20) පෙරවරුවේ ආරම්භ වූ මෙම ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ මහා පරිමාණ වෙළෙඳ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මනින් අවතීරණ වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවල දී එම සමාගම්වල ප්‍රධානීහු කැමැත්ත පළ කළහ.

ආර්ථික සමුළුව අතර වාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ලෝකයේ ප්‍රබලතම වෙළෙඳ සමාගම් ප්‍රධානීහු අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරී එරික් රොන්ඩෝලට්, ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලි‍ෆා යන මහත්වරු වූහ.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරිණි.

මෙම සමුළුව අතරතුර දී ඊයේ (20) දින පස්වරුවේ ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොදොග්ලු යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජින් පිලිප් කෝර්ටොයිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී හෙට (21) හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම අවස්ථාවන්ට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායක සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.