17072024Wed
Last update:Wed, 08 May 2024

යුදමය වශයෙන් පරාජය වූ ත්‍රස්තවාදින් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටිනවා – ජනපති

President12 62009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සටන් බිමේ යුදමය වශයෙන් පරාජය වුවත්, මේ රටේ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමට ඔවුන් තුල තිබූ මතවාදය ඒ තුල පරාජය නොවූ බව පැවසූ ජනාධිපතිතුමා යුදමය වශයෙන් පරාජය වූ ත්‍රස්තවාදීන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටින බව පැවසීය.

එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජය කැපවී කටයුතු කරද්දී රටේ ජාතික ආරක්ෂාව බිඳ දමා, රණවිරුවන් දුර්වල කිරීමට රජය කටයුතු කරන බවට ඇතැම් පිරිසක් චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී පටු දේශපාලන මතධාරින්ගේ සියලූ චෝදනා රජය දැඩිව ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකළ පිහිනුම් තටාකය අද ( 19) පස්වරුවේ රණවිරු අයිතියට පවරා දෙමිනි.

විරෝධාර රණවිරුවන් උපන් දේශය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට කෘතගුණ දක්වමින් රුපියල් මිලියන 15 කට අධික වියදමක් දරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම පිහිණුම් තටාකය ඉදි කර ඇත.

නව රජය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළයුතු වගකීම් පැහැර හරින හෝ ප්‍රමාද කරන රජයක් නොවන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එය පසුගිය කාලයටත් වඩා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීම අරමුණ බව ද ප්‍රකාශ කළේය.

රටින් පිට සිටින එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් අපේ රටේ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ දකින අශිලාචාර සිහිනය බිඳ දැමීමට ජාත්‍යන්තරයේ සියලූ සහාය අද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට ද්වේෂ කරන, ඒකීය භාවයට අභියෝග කරන රටින් පිට සියලූ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට නව රජය කැපවී සිටින බවද කියා සිටියේය.

යුද්ධය අවසන් කාලයේ සිදුවූවා යැයි චෝදනා කරන ඇතැම් සිදුවීම් හේතුවෙන් ශී්‍ර ලංකා ආරක්ෂක හමුදාවන් වෙත ලබාදුන් පුහුණු අවස්ථාවන්ගෙන් සහ තාක්ෂණික සහයෝගයෙන් ලෝකයේ බොහෝ රටවල් ඉවත් වූ අතර තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එම රටවල රාජ්‍ය නායකයින්ගෙන් කරන ලද ඉල්ලීම අනුව එම අවස්ථාවන් නැවත ශ්‍රී ලංකා හමුදාවන් වෙත හිමිව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා රටට ස්ථීර සාර සාමයක් උදා කර දීම එදා යුධ බිමේ ජීවිත පරිත්‍යාග කළ සහ අබාධිත වූ සියලූ රණවිරුවන් වෙනුවෙන් රජයට දැක්විය හැකි ඉහළම උපහාරය බව ද ජනාධීපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේය.

රණවිරුවන් වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු සහ අර්ධ නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මිහිදු සෙත් මැඳුරේ නිරික්ෂන චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ආබාධිත රණවිරුවන්ගේ සුව දුක්ද විමසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

05 08 09 10 11 13 14 15 16 18 19 04 03 01