18052024Sat
Last update:Wed, 08 May 2024

නව‍ ව්‍යවස්ථාවට සියලුම පක්ෂවල-ජනතා අදහස්

ranil 01අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නව‍ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සියලුම පක්ෂවල අදහස් මෙන්ම ජනතා අදහස් ලබා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. සියලුම පක්ෂ සමග සාකච්ජා කර එම අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කර මාස තුනක කාලයක් ලබා දුන් බවද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා නොදෙන ලෙස කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බවද අගමැති වික්‍රමසිංහ මහතා කීය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිතුමාට හා තමාට ජනතාව වරමක් ලබාදී ඇති බවත් එම ජන වරමෙන් පිට ක්‍රියා නොකරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (17) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

18 වැනි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත් වුණත් අද එම ඒකාධිපති බවෙන් රට මිදි ඇතැයි ද කී අගමැතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේදී සමාජ වෙබ් අඩවි මගින් ද අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බවද කීය.

අනාගතයේ ජීවත් වන්නේ තරුණ පරපුර වන බවත් තරුණයන්ගේ විවිධ අදහස් සමාජ වෙබ් අඩවි මගින් ලබා ගෙන ව්‍යවස්ථා සම්පාදනය කරන බව කී වික්‍රමසිංහ මහතා එසේ කරන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව ද පැවසීය. නිවසේ සිටම මේ කාර්ය කළ හැකි බව පෙන්වා දුන් අගමැතිවරයා මෙම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ජනතාව වෙනුවෙන් බව සපථ කළේය. මේ ජනතාව සඳහා වන ව්‍යවස්ථාවයි.

කිහිප දෙනෙකු පාරට බැස කෑගැසුවාට එම කටයුතු නවතා දැමිය නොදමන බවද අගමැතිවරයා සඳහන් කළේය. ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ කටයුතු සඳහා අතීතයේදී පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බව කී අගමැති වික්‍රමසිංහ මහතා එහි ගොස් අදහස් ලබා දෙන ලෙස මුළු මහත් ජනතාවගේන් ඉල්ලා සිටියේය.

රටම එකතු කර ගෙන සියලූම පක්‍ෂවල අදහස් ලබා ගෙන අප මේ කාර්ය සිදු කරන බවත් කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට අදහස් නොකරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය. බෞද්ධයෙක්, සිංහලයෙක් මෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් බෙදී ගිය රට නැවතත් ඒකරාශී කිරීමට කැප වීම තමාගේ එකම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.