ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය මිල අධිකය. එවන් දේශයක් පවත්වා ගෙන යාම ලෙහෙසි පහසු වන්නේ නැත. විශේෂයෙන් ම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ගිය කාලාන්තරයක් තිස්සේ ඊට එරෙහි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වූ රටක ස්ථාපිත වන්නේ වැරදි ක්‍රියා පිළිවෙත් ය. කලක් ගත වන විට සාමාන්‍ය ජනතාව ද ඊට හුරුවේ. එ් වෙන කළ හැකි යමක් නොවන නිසා ය. එහෙම රටක් ආපසු හැරවීම ලෙහෙසි පහසු වන්නේ නැත.
අපේ රටේ වුව ද මීට වසරකට පෙර දක්නට ලැබුණේ මේ යථාර්ථයයි. සාමාන්‍යයෙන් තිස් වසරක සිවිල් යුද්ධයක් ස්ථාපිත වූ රටක දක්නට ලැබෙන්නේ එම යුද්ධය අවසන් කිරීමට ගනු ලැබන ක්‍රමවේදයයි. සාම වැඩසටහන් හා යුද්ධයට එරෙහිව යුද්ධය එම කාලය තුළ ක්‍රියාත්මක වේ. එසේ ම හදිසි නීතිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් වැනි අනපනත් ක්‍රියාත්මක වේ. මීට අමතරව මාධ්‍ය නිදහසට ද යම් යම් තහංචි පැන වේ. ඉඳහිට අතුරු දහන්වීම් හා පැහැර ගැනීම් ද සිදු වේ. සිවිල් යුද්ධ පැවැති වෙනත් සමහර රටවල මෙන් ම අපේ රටේ ද පාලන ව්‍යුහය තුළ මෙවන් පසුබිමක් දක්නට ලැබුණි. කෙසේ හෝ යුද්ධය අවසන් කළ යුතු නිසාත් ශ්‍රී ලංකාවේ පැවැතියේ බෙදුම්වාදී සිවිල් යුද්ධයක් නිසාත් කෙසේ හෝ එය මර්දනය කිරීමේ අනුමැතිය පසුගිය රජයට ජනතාවගෙන් ලැබී තිබිණි.
එසේ ම ඊට නායකත්වය දෙන දේශපාලන හා හමුදා නායකත්වයට රටේ පිළිගැනීමක් ගෞරවයක් ලැබෙමින් පැවැතුණි.මේ දේශපාලන වාතාවරණය යුද්ධයේ විරුවන්, ජාතියේ මුර දේවතාවුන් හා පියවරුන්ගේ සිට මහ රජාණෝ දක්වා ම බිහිවූූයේ මේ දේශපාලන වාතාවරණය තුළ ය. එදා සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා, සුදුවෑන් සංස්කෘතිය ජනතාව එතරම් ගණන් ගත්තේ නැත. එසේ ම බොර දියේ මාළු බෑම් ආණ්ඩුව කරවන දේශපාලනඥයන් අතුරින් නිතර නිතර සිදු විය. එසේ ම බලය තහවුරු කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියා ද දක්නට ලැබිණි.
එදා මේ සියල්ලටම වඩා ජනතාවගේ අවධානය යොමු වී තිබුණේ යුද්ධය ජය ගැනීම වෙනුවෙනි. එ් නිසා ඊට අදාළ විරයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට පවා සමාවක් දීමේ වාතාවරණයක් දක්නට ලැබිණි. 2009 මැයි 18 වැනි දා යුද්ධය අවසන් විය. ප්‍රභාකරන්ගේ අවසානයෙන් එය සංකේතවත් විය.
මෙතැන් සිට රට තුළ නිර්මාණය වීමට පටන් ගනු ලැබුවේ නිදහස් වාතාවරණයකි. එය හරියට බොර දිය පහ වී නිසසල සුනිල් ජලය පෑදුණා වාගේ ය. නැතිනම් පතුල පෙනීමට පටන් ගත්තා වාගේ ය. මෙවන් වාතාවරණයක් තුළ යුද්ධයේ දී ක්‍රියාත්මක වූ සමහර ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී කාරණා අවසන් විය යුතුව තිබිණි. නිදහස් සාමකාමී වාතාවරණයක පැරැණි සිදුවීම් නැතිනම් ප්‍රජාතන්ත්‍රවිරෝධී, යහපාලන විරෝධී සිදුවීම් රටේ සාමය උදාවීමත් සමඟ ම නතරවිය යුතුවම තිබුණි. එහෙත් එසේ වූයේ නැත. එ් වෙනුවට සිදු වුයේ ජයග්‍රහණය උපයෝගී කර ගනිමින් බල අධිරාජ්‍යයක් ගොඩ නඟ ගැනීමටය. නැතිනම් ජයග්‍රහණයේ කීර්තිය උපයෝගී කර ගනිමින් විධායක බලයට සියල්ල යට කර ගැනීමේ අධිපත්‍යයක් නිර්මාණය වීමය. යුද්ධයෙන් ලැබු කීර්තිය, හා සංවර්ධනයට උදාවූ ඉඩ ප්‍රස්ථා හා දේශප්‍රේමය මේ සඳහා උපයෝගී කර ගත් සාධක වුණි.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා උදෙසා වූ අරගලයක් හා ඊට එරෙහිව පසුගිය පාලනයේ සැහැසි බල අධිකාරයක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ මෙ තැන් සිට ය. තිස් අවුරුදු යුද්ධය අවසන් වී උදා වූ නව යුගය සමහරු හැඳින්වීමට පටන් ගනු ලැබුවේ දෙවැනි නිදහස යනුවෙනි. එහි යම් අර්ථයක් තිබේ. එය එතරම් වැදගත් ය. එහෙත් එම වැදගත්කමෙන් අපේ රටේ එ් වන විට පාලනයේ සිටි වගකිව යුත්තෙන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නේ නැත. නිසි අයුරින් යන්න ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදෙසාය.
1948 ලැබූ නිදහසේ සිට ම ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නඟා ගැනීමේ ප්‍රශ්නය අප රට තුළ අඩුවක් ලෙසින් පැවතුණි. ඊට ද හොඳ ම අවස්ථාව යළි උදා වූයේ 2009 දී යුද්ධය අවසන් වීම ය. එ් සමඟ ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මඟින් උතුරට දේශපාලන විසඳුමක් ලබා දීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ සංශෝධන ආදී මේ කිසිවක් සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලැබූ දෙවැනි නිදහස ප්‍රයෝජනයට ගත්තේ් නැත. මේ නිසා දෙවැනි නිදහස යනු වචන වැලක් පමණක් වුණි. 1948 ලැබු නිදහසටත් වඩා රට ආපස්සට ගමන් කරන බවක් දක්නට ලැබිණි. මේ සියල්ල සඳහා උපයෝගී කර ගැනුනේ දේශප්‍රේමය හා දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට දමා ගෙන ගිය සංවර්ධනයයි.
එම සංවර්ධන ක්‍රියාදාමය තුළ යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කිරීම නම් වැදගත් ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ආදී කාරණා නොසලකා හැරීම හිතාමතාම වාගේ සිදු විය. එ් වෙනුවට සිදු වුයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පැත්ත තවත් ශක්තිමත් වීමය.
අරගලය මතු වීමට පටන් ගන්නේ මේ කාරණා සම්බන්ධයෙන් 2010යේ සිට ය. එහෙත් එය මුල දී පැවැතියේ ප්‍රජාතන්ත්‍රවාදී සොදුරු සංවාදයක මට්ටමිනි. පසුගිය ගිය උතුරේ පුනරුත්ථාපන වැඩසටහනට ප්‍රමුඛත්වයක් දී තිබිම නිසා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ මතවාදය මුල දී දැඩි සංවාදයකට ලක් නොවුණි. එහෙත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත්, ස්වාධීන කොමිෂන් සභා අඩපණවීමත් සමඟ ම එම ආණ්ඩුව යහපාලනය පැත්තෙන් කිසිවක් නොකරනු ඇන යන සැකය මතු විය.
මීට විකල්ප අයුරින් රජය කල්පනා කළේ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති හා ජනතාවට සහනාධාර බෙදාහැරීම මඟින් සියල්ල යටපත් කරගත හැකි බවයි. උතුරේ පළාත් සභා මැතිවරණයේ දී මේ ක්‍රමය අත්හදා බැලීය. ප්‍රතිඵලය අසාර්ථකය. උතුරේ ජනතාව ආණ්ඩුව මගින් ලබාදුන් ආර්ථික, සංවර්ධන හා සහනාධර ප්‍රතිලාභ වෙනුවෙන් ඡන්දය දුන්නේ නැත. පසුගිය රජය කල්පනා කළේ ආර්ථික සංවර්ධනය හා දේශප්‍රේමය මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යටපත් කරගත හැකි බවයි. මේ සඳහා සංවර්ධනය උලුප්පා පෙන්වමින් ජනමතය ඊට මෝහනය කිරීමේ මාධ්‍ය මෙහෙවරක් ද දියත් කර තිබිණි.
එහෙත් කිසිවෙක් කල්පනා නොකළ සත්‍යයක් තිබේ. එනම් මේ රටේ ජනතාව වසර 84ක් තිස්සේ සර්වජන ඡන්ද අයිතිය රිසි සේ භූක්ති විද තිබුණු බවය. එසේ ම ශ්‍රී ලංකාව සිම්බාබ්වේ වැනි නොදියුණු අප්‍රිකානු රාජ්‍යයක් නොවන බවයි. මේ රටේ සක්ෂරතාවය ඉහළ මට්ටමක පවතින අතර මධ්‍යම පන්තිය පසුගිය දශකය තුළ පෙර යුගවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්තව තිබිණ. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිළිබඳ මතවාදය මධ්‍යම පන්තිය තුළ වඩාත්ම ඉස්මතු වෙමින් පැවතිණ. ඊට අමතරව සුළු ජාතීන් තුළ පැවැති අසහනය එන්න එන්නම වැඩි දියුණු වී තිබිණි.
මේ සියලු කාරණ පසුගිය රජයට එරෙහිව 2014 වසර අවසන් වන මිට අළු යට ගිනි පුපුරු මෙන් සැඟ වී තිබිණ. එහෙත් මීට එරෙහිව සියලු ජාතීන්ට පිළිගත හැකි ජාතික නායකත්වයක් දේශපාලන ක්‍ෂේත්‍රය තුළින් මතු නොවිණ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභීතව විප්ලවකාරී අයුරින් මතු වූයේ මේ රික්තය පිරවීමටය. නැතිනම් විකල්ප ජාතික නායකයා ලෙසිනි. මේ ඓතිහාසික සිදුවීම සිදු වූයේ 2014 නොවැම්බර් 22 වැනි දා ය. එ් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයෙන් ඉවත් වී පවත්වනු ලැබු ප්‍රවෘත්ති සාකච්ඡාව සමඟිනි. මෙතැන් සිට රටේ සමස්ත දේශපාලන වාතාවරණය ම උඩුයටිකුරු විය. උතුරේ සිට දකුණට සියල්ල යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසුණි. එහි සංකේතය බවට පත් වූයේ හංසයාය. මෙහි දී බරපතළ ම කාර්ය ඉටු කරන ලද්දේ එ් වන විටත් ප්‍රබල ම විකල්ප දේශපාලන ධාරාව බවට පත්ව තිබූ එක්සත් ජාතික පක්ෂයයි. රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය අවංකව ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගෙන එතුමා වටා රොක් වෙමින් පසුගිය ජනාධිපතිවරණය මැතිවරණ ව්‍යාපාරය තමන්ගේ පක්ෂයේ කාර්යයක් ලෙසින් ම ඉටු කළ බව පැවසිය යුතුය. එ් සමඟ ම ජනතා විමුක්ති පෙරමුණ පිටතින් සිට දැක් වූ සහාය ද අනුස්මරණීයය. ඊට හේතුව යුග පෙරළියක් ලෙසින් සටහන් වූ එම මැතිවරණයේ හංසයාට වැටුණු හැම ඡන්දයකට වටිනාකමක් ගැබ්ව තිබීමයි.
එහි දී සමහරුනට ජනාධිපතිවරයා පෞද්ගලිකව හඳුනා ගැනීමටත්, එතුමාගෙන් අනාගතයේ උදව් උපකාර ලබා ගැනීමටත් අවශ්‍ය නොවීය. ඔවුනට අවශ්‍ය වූයේ පැරණි පාලනය පෙරළා දැමීම පමණි. නැතිනම් වෙනසක් කිරීම පමණි. පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අඩ පණ කිරීම පමණි.
පසුගිය වසරේ ජනවාරි 8 වැනි දා එම වෙනස සිදු විය ඉතා බල සම්පන්න ජනාධිපතිවරයෙක් පරාජය පත් විය. එය සිදු වුයේ එම ජනාධිපතිවරයාට අතිශයින්ම වාසිදායක පිට්ටනියක දී ය. නැතිනම් වත්මන් ජනාධිපතිවරයාට අවාසිදායක තරගයක දී ය.
මේ වන විට එම ජයග්‍රහණ වසරක් සැපිරීමට ආසන්නය. තව දින දෙකකින් එම ඓතිහාසික අවස්ථාව උදා වේ. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට බලය අත් හැරීමට කැමැති නායකයකු ලැබී තිබේ. එය වචනයට පමණක් සීමා කර ගැනීමෙන් තොරව විධායක ජනාධිපති ධුරයේ යම් යම් බලතල වසරක් ඇතුළත අත්හැර තිබේ. 18 වැනි සංශෝධනය අහෝසි කිරීම පමණ නොව පාර්ලිමේන්තුවට යා හැකි උපරිම දුර යමින් 1978 ව්‍යවස්ථාවේ විසකුරු බලතල කප්පාදු කර ගෙන ඇත. නව සංශෝධනය යටතේ වසර හතරහමාරක් යන තුරු ජනාධිපතිවරයකුට හිතුමතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. එසේ ම කැමැති තරමක් අමාත්‍යාංශ ඔහු යටතේ තබා ගැනීමට ද නොහැකිය. මේ ආදි වශයෙන් විධායක ජනාධිපති ධුරයට අදාළ බලතල රැසක් මේ වසර ඇතුළත පමණක් නොව එතුමා බලයට පත් වී දින 100යේ වැඩ සටහන ඇතුළතම කප්පාදු වී ඇත. එ් අනුව 1978න් පසු සිදු වී ප්‍රබලත ම ජනතාවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සිදු වූයේ මෛත්‍රීපාල යටතේ ය. මෙහි විශේෂත්වය 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය යටතේ මීට වඩා වැඩි බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත දැක් වූ නමුත් ජනමත විචාරණයකින් තොරව එය කළ නොහැකි බවට උසාවිය තීන්දු කිරීම ය.
එසේ ම නාස්තිය දූෂණ හා අක්‍රමිකතාවන් බෙහෙවින් අඩු වූ වසරක් ලෙසින් ද පසුගිය වසර ඉතිහාසයට එක් වේ. මේ උදාහරණ කීපයක් පමණි. මෛත්‍රී පාලනයෙන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස තහවුරු වෙමින් පවතින බවට මෙවන් උදාහරණ ඕනෑතරම් ඉදිරිපත් කළ හැකි යි. එසේ ම අඩුපාඩු කම් ද තිබේ. මේ සියල්ල දෙස සමස්තයක් වශයෙන් සඳහන් කරන්නේ නම් මෛත්‍රී පාලනයේ මුල් වසර රට යහපත් රටක් ලෙස ඉදිරි ලෙස ඉදිරියයට ගමන් කිරීමේ ආරම්භයක් සටහන් කර තිබිම වැදගත් ය. එසේ ම ඉදිරිගාමී ය.