23112024Sat
Last update:Wed, 20 Nov 2024

අයවැය 2016

ravi karunanayake22016 වසර සඳහාවන අයවැය යෝජනාවලිය මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. 

 ජනවාරි 9 වැනිදා ජනපතිවරණයෙන් පසු පත්කරගත් නව රජය 2015 වසර සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ අතර ඉන් පසු නව රජය පසුගිය අගෝස්තු මාසයේදී පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය මෙයයි.

 16:51 - ‘පාසල්වලට ඇතුළත්වන සියලු ළමයින් වෙනුවෙන් ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස සියලුම බැංකුවලින් ඉල්ලා සිටිනවා‘

16:48 - ‘යතුරුපැදි හා ත්‍රී රෝද රථ තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කරනවා‘

16:44 - ‘රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකළ යුතුයි‘

16:43 - ‘ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවත් කරනවා‘

16:42 - ‘ගාලු කොටුව සංවර්ධනය සඳහා මිලියන 500ක වෙන් කරනවා‘

16:35 - ‘ආර්ථික මධ්‍යස්ථාන ඇති කරමින් නව රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා‘

16:32 - ‘පාර්ලිමේන්තුව අසල ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා‘

16:31 - ‘සංචාරක කර්මාන්තය වෙනුවෙන් දකුණු ආසියාවේ භාණ්ඩ මිලට ගැනීමේ පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවීමට කටයුතු කරනවා.‘

16:28 - ‘සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ශ්‍රී ලංකාව සම්බන්ධව ලබාදීමට කටයුතු කරනවා. ආගන්තු සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා හඳුන්වා දෙනවා. උපරිම රුපියල් 15000 ක පාඨමාලා සඳහා 50%ක් රජය ගෙවනු ලබනවා‘

16:26 - ‘ගොඩනැගිලි හා ඉදිකිරීම් කර්මාන්තයේ පුහුණුවන්නන්ට මාසිකව රුපියල දස දහසක දීමනාවක් ලබාදෙනවා‘

16:25 - ‘දොඹකර හා කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රවලට ආනයන බදු ඉවත් කරනු ලැබේ‘

16:25 - ‘වානේ ටයිල් හා සනීපාරක්ෂ ගොඩනැගිලි ද්‍රව්‍යවල ආනයන ආශ්‍රිත බදු පහත දමනවා‘

16:23 - ‘ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම විදේශ සමාගමකට දේශීය සමාගම් සමග සම්බන්ධවීමේ නිදහස හිමිවනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දිරිමත් කිරීමට ඇප අරමුදල් බදු නිදහස් කරනවා‘

16:22 - ‘විදේශිකයන් සඳහා ඉඩම් බදු ගැනීමේදී පනවා ඇති තීරුබදු ඉවත් කරනවා‘

16:19 - ‘කොළඹ, යාපනය, මහනුවර, මඩකලපුව, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල රජයේ ඉඩම්වල නිවාස ඉදිකර අඩු මුදලකට ලබාගැනීමේ ක්‍රමවේදයක් සකසා කරනවා. ඒ සඳහා රජයේ නිලධාරීන්ට ණය පහසුකම් ලබාදෙනවා‘

16:18 - ‘මුඩුක්කු නිවාසවල වෙසෙන ජනතාවගේ ගැටළු වෙනුවෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් නිවාස ලක්ෂයක් ඉදිකිරීමට යෝජනා කරනවා. නැවත පදිංචි කිරීම් කටයුතු සඳහාද වගබලාගනු ලැබේ‘

16:17 - ‘ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය අනුව අමෙරිකාව, චීනය, ජපානය, දකුණු අප්‍රිකාව වැනි රටවලට අපනයන කටයුතු කිරීමේ වඩාත් සාර්ථක ක්‍රමවේදයක් සඳහා 2016 ජූනි මාසයේ සිට ජීඑස්පී ප්ලස් සහනය බලාපොරොත්තුවනවා‘

16:15 - ‘ජාතික ඩිලිටල් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් 2016 ජනවාරි 1 වැනිදා සිට හඳුන්වාදෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර තිබෙනවා‘

16:08 - ‘ආයෝජකයන්ට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කරනවා. ඔවුන්ට කිසිදු බියක් ඇති කරගත යුතු නෑ. බැංකු මගින් ඕනෑම ආකාරයට මුදල් හුවමාරුකරගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනවා. එමෙන්ම ආයෝජකයන් ආරක්ෂා කිරීමට විශේෂ නීති ගෙනෙනවා‘

15:54 - ‘රත්තරන් ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමයක් ඇති කරනවා‘

15:53 - ‘විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළ තරුණයන්ට නිරතවීමට උනන්දු කරනවා. සහනදායී ණය පහසුකම් ලබාදෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවීමට මැණික් හා ස්වර්ණාභරණ ආයතනය මගින් සිදුකරන පුහුණු පාඨමාලා වර්තමාන අවශ්‍යතා පරිදි උසස් කරනවා. මැණික් වෙන්දෙසියක් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජනා කරනවා‘

15:49 - ‘වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා. ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ සහායට කුඩා වැව් හා අැළවල් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා‘

15:48 - ‘ග්‍රාමීය ආර්ථිකය නගා සිටුුවීමට ග්‍රාම නිලධාරී කොට්ඨාස පොකුරු ගම්මාන ලෙස ක්‍රියාත්මක කරනවා. මේවායේ පොදු පහසුකම් සංවර්ධනය කරනවා. විශාල පරිමාණයේ කෘෂිකර්ම ව්‍යවසායන් පිහිටුවනවා. එක් ගමකට රුපියල් මිලියන 1500 බැගින් වෙන් කිරීමට යෝජනා කරනවා.‘

15:47 - ‘රජයේ ආධාර නොලැබීම හේතුවෙන් පුවක් නිෂ්පාදනය පසුබා තිබුණි. පුවක් එකතු කිරීමේ කලාප පිහිටුවනවා. එම කර්මාන්තය දියුණු කරවීමට වාණිජ වශයෙන් පුවක් වගා කිරීමට රජයේ සහාය ලබාදෙනවා.‘

15:45 - ‘පොල් ප්‍රවර්ධන කටයුතු හා පොල් නිෂ්පාදන පුනරුත්තාපනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා‘

15:45 - ‘පොල් ප්‍රවර්ධන කටයුතු හා පොල් නිෂ්පාදන පුනරුත්තාපනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා‘

15:43 - ‘තේ කර්මාන්තයේදී එහි අගය එකතු කිරීම අපේක්ෂිත මට්ටමට ළගාවී නැත. ශ්‍රී ලංකාව තේ කේන්ද්‍රස්ථානයක් ලෙස තේ මිශ්‍ර කිරීම වැනි කටයුතු තුළින් අගය එකතු කිරීම සිදුකිරීමට කටයුතු කරනවා. සිලෝන් ටී නාමය නොවෙනස්ව පැවතීමට ලේබල් කිරීම අනිවාර්ය කරනවා‘

15:40 - ‘දේශීය කුකුළු මස් නිෂ්පාදනයේ හා ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා මැදපෙරදිග විශේෂ වෙළඳපොළ වෙත යොමුකිරීමට රජය පියවර ගන්නවා.‘

15:38 - ‘දේශීය මත්ස්‍ය නිෂ්පාදකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා. ටින් මාළු කර්මාන්තයේ වර්ධනය සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීමට නිෂ්පාදන මිලට ගැනීමේ යන්ත්‍රණයක් ඇති කරනවා‘

15:36 - ‘දේශීය කිරි කර්මාන්තය දිරි ගැන්වීමට හා ආනයනය අවම කිරීමට පසුගිය රජය ගත් උත්සාහයන් අගය කරනවා. නමුත් කිරි මිල වැඩිකර අතුරු භාණ්ඩයක් වන යෝගට් අඩුකළා. ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 295 ක් දක්වා අඩුකරනවා‘

15:34 - ‘ගොවියා හා පාරිබෝගිකයා යන දෙදෙනාටම වඩාත් ප්‍රතිලාබ ලබාදෙන ක්‍රමයක් හඳුන්වාදෙනවා. සහනාධාර සුුළු පරිමාණ වී ගොවීන්ට පමණක් ලබාදෙනවා. යල හා මහ කන්න ආවරණය වන පරිදි ඔවුන්ට රුපියල් 25,000 ක මුදලක් ලබාදෙනවා. පළතුරු හා එළවළු කර්මාන්තය නගා සිටුවීමට සහන ලබාදෙනවා. මේවාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයන බද්දෙන් නිදහස් කරනවා.‘

15:32 - ‘සහල් අපනයන වෙළඳපළවල් අරමුණු කරගත් සහල් නිෂ්පාදනයට ගොවීන්ට අනුබල දෙනවා. අපගේ සහල් සඳහා විදේශ වෙළඳපළ හඳුනා ගැනීමට ක්‍රමවේද යොදාගන්නවා. නිමක් නැති සහනාධාර ගොන්නක් පසුගිය රජය අනුමත කර තිබෙනවා. එහෙත් 2014 දී අස්වැන්න ඉතා අඩුවී තිබෙනවා. නිදන්ගත වකුගඩු රෝගය අධික පොහොර භාවිතය බව තවදුරටත් විවාදයට තුඩුදී තිබෙනවා.‘

15:30 - ‘ගොවියාගේ නිෂ්පාදන වියදම වෙනුවෙන් කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 50 ක්ද සම්බා කිලෝවක් සඳහා රුපියල් 41 ක් හා නාඩු කිලෝවක් සඳහා රුපියල් 38 ක සහතික මිලක්ද ලබා දෙනවා‘

15:24 - ‘අපගේ ආර්ථිකයේ සමාජ ව්‍යුහය වන කෘෂිකර්මය අතරමැදියන් සූරාකෑමට හා කාලගුණ බලපෑම් හේතුවෙන් කඩා වැටෙනවා. නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනපති හා අගමැතිගේ අවධානය යොමුව තිබෙනවා‘

15:23 - ‘කුඩා කාර්මික උද්‍යාන මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති කරනවා‘

15:20 - ‘ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ශුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා‘

15:18 - ‘ක්ෂුද්‍ර සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඔවුන්ගේ දියුණුවට අතහිත දීමට රජය පියවර ගන්නවා. සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන යෝජිත අධිකාරියක් යටතේ වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි විය යුතුයි‘

15:16 - මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹිණි.

15:15 - ‘අඳුරට ශාප නොකර ඉටි පහනක් දල්වා අඳුර පළවා හරිමු. ජාති ආගම් හා සමාජ බාධාවන් වැනි අනෙකුත් වෙනස්කම් වලින් තොරව සියලු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමු‘

15:15 - ‘අප ඉදිරිපත් කළ දේවල් ඉටු කරන බවට සහතික වෙමු. ප්‍රීතිමත් සෞභාග්‍යමත් අනාගතයක් බලාපොරොත්තු වෙමු. සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වී පෙළ ගැසෙමු. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දීමට අප සූදානමින් සිටිනවා. මේ අවස්ථාවේ ජනපති අගමැති හා ඇමැති මණ්ඩලය හා විවිධ දේශපාලන උදව්කරුවන්ට මිත්‍රත්වයේ හස්තය දිගු කරමි‘

15:12 - ‘අපගේ ගිලිහී ගිය අවස්ථා බොහොමය. යාපනයේ මාර්ගයක් තැනීමට යෝජනා කළ අවස්ථාවේ ඩඩ්ලි සේනානායක මහතා ජනතාවට හාල් සේරුවක් ලබාදීමට වැඩි කැමැත්තක් දැක්වූවා‘

15:12 - ‘නව රජයට රටේ අනාගත ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීමක් තිබෙනවා. පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතු පහසුකම් සැලසීම හා වෙළඳ පොළ මූලික කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා‘

15:10 - ‘මෑත ඉතිහාසයේ ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධයෙන් පාරිසරික ගැටළු ඇතිවුණා. අවුල් සහගත එවැනි ගැටළු විසඳාගැනීම අපහසුවී ඇත. සූර්ය බලශක්ති හා ජීවය පදනම් කරගත් විදුලිය ඒ සම්බන්ධ අංශවලට යොදාගත යුතු වනවා‘

15:08 - ‘පොදු ප්‍රවාහන සේවය පවතින ආකාරයට මාර්ගවල ධාවනය වන පුද්ගලයින් අඩු ගණනකින් යුතු වාහන වැඩිවීමට හේතුවී තිබෙනවා. එයින් ඵලදායී මිනිස් පැය ගණනක් අහිමිවී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල මහා මාර්ග හා දුම්රිය සේවා වැඩිදියුණු කිරීමට කටයුතු කළ යුතුවනවා‘

15:06 - ‘ජනතාවට නිවාස ලබාදීමේ රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ ක්‍රමවේදය නැවත ඇතිකළ යුතු වනවා‘

15:05 - ‘නිර්මාණශීලී විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදිය යුතු වනවා. ශ්‍රී ලංකාවේ සිදුවන ජන විකාශයේ පරිවර්තනය සමග විශ්‍රාම යන ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉතිරිකිරීම් හා විශ්‍රාම වැටුප් සඳහා අවධානය යොමු කළ යුතු වනවා‘

15:03 - ‘ පසුගිය රජය සමයේ අධ්‍යාපනය සඳහා වන ආයෝජනවල සිදුවූයේ අඛණ්ඩ අඩුවීමක්. තරුණයන් අතර ඇති සේවා වියුක්තිය හා ඌණ සේවා වියුක්තියද උපාධිධාරීන්ගේ අසමතුලිතතා නැති කිරීමට කටයුතු කළ යුතු වෙනවා‘

15:02 - ‘පැවැති සියලුම රජයන් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරවත් නවීකරණය විය යුතු වෙනවා. දරුවන්ගේ ස්වාධීන චිත්ත ශක්තිය දියුණු කරගැනීමට දැනට පවතින විභාග ක්‍රමය වෙනුවට දක්ෂතාවය මූලික කරගත් ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු වනවා‘

15:00 - ‘වර්තමානයේ රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 72% පමණ වන අතර එය පිළිගත යුතු ජාත්‍යන්තර මට්ටම අනුව ඉතා ඉහළ අගයක් වෙනවා‘

14:59 - ‘පසුගිය අවුරුදු 10 තුළු දළ දේශීය නිෂ්පාදනය 6% දක්වා සාමාන්‍ය අගයක් ගත්තා. මෑතකදී කරන ලද රාජ්‍ය ආයෝජනවල ගණනයේදී එම ණය බර ආර්ථිකය වසාගත් අඳුරු වළාවක් බව පෙනී ගොස් තිබෙනවා‘

14:58 - ‘රජයේ ආයෝජන වැඩසටහන් ඇගයීමේදී හා තෝරාගැනීමේදී ආයෝජන සඳහා සාධාරණ ප්‍රතිලාබයක් ලැබේද යන්න තෝරාගැනීමට අප ප්‍රවේශම් විය යුතුයි‘

14:57 - ‘වැඩි වැඩියෙන් පවත්නා විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව අනාගතයේ බරපතල තත්ත්වයක් ඇතිවිය හැකියි. රජයේ ඒකාබද්ධ අරමුදල් ලබාගැනීමට සිදුවීම නිසා බදු ගෙවන්නා මත ඒකෙරෙහි විශාල වගකීමක් දැරීමට සිදුවනු ඇත. ඒ සඳහා විශ්‍රාමිකයන්ගේ වැටුප් වෙනුවෙන් තීරණාත්මක නව උපක්‍රම අප විසින් සොයාබැලිය යුතු වෙනවා‘

14:55 - ‘කැපී පෙනෙන මට්ටමකින් වැඩිවී ඇති වැටුප් වියදමයි. මේ නිසා අප විසින් රජයේ අංශයේ වැටුප් හා වේතනවල අඛණ්ඩ වර්ධනයක් ඇති කරගත හැකි යෝජනාවලියක් සොයා බැලිය යුතු වෙනවා‘

14:54 - ‘රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රමාණාත්මකව වැඩි කරමින් ඒ සඳහාවන අපගේ කැපවීම පෙන්නුම් කර තිබෙනවා‘

14:53 - ‘ශුන්‍ය අයවැය සංකල්පය බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. මෙය ක්‍රියාත්මක කිරීමට මෙතරම් කාලයක් ගැනීම ගැන මා මවිත වනවා‘

14:53 - ‘ආර්ථික අයවැය සකස් කිරීමට ශුන්‍ය අයවැය සංකල්පය යොදා ගත්තා‘

14:52 - ‘බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජයේ මූලික වියදම් පියවාගැනීමට ප්‍රමාණවත් වන්නේ නෑ. වියදම් මට්ටම වැඩිවූ පසුගිය රාජපක්ෂ පාලන ක්‍රමය තුළින් අපට බොහෝ පාඩම් ඉගෙන ගත යුතුව තිබෙනවා‘

14:51 - ‘බදු ආදායම අඩුවූ හේතුවූ ආවේණික ලක්ෂණ වන්නේ බදු පරිපාලනයේ දුර්වලතා, විවිධ රජයේ ආයතන මගින් ප්‍රදානය කර ඇති බදු දුර්වල කිරීම, ආදියයි. බදු ගෙවීම මග හැරීම වළක්වන උපායක් ලෙස බදු අනුකූලතාවය ඇති කරන ක්‍රමවේදයක් දියත් කළ යුතු බව කවුරුත් පිළිගන්නවා‘

14:48 - ‘දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පවතින රජයේ ආදායම් ප්‍රමුඛතා පිළිවෙළින් යුතුව ආපසු හැරවිය යුතු වෙනවා‘

14:46 - ‘රජයේ මූල්‍ය අංශයේ ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳ කඩිනම් අවධානයක් යොමුකළ යුතුයි. රජයේ මූල්‍ය අංශයෙන් ආරම්භ කර ආර්ථිකයේ සියලුම අංශ නියෝජනය වන පරිදි දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා‘

14:44 - ‘බදු ගෙවන්නාගේ බදු මුදල් ජාතියේ අභිවෘද්ධිය සඳහා දැඩි සැලකිල්ලෙන් යුතුව භාවිතා කළ යුතුයි‘

14:42 - ‘ආර්ථික ව්‍යසනයේ තත්ත්වය පිටාර ගැලීමට ආසන්න තත්ත්වයක් පැවතුණා. මේ අයවැය යෝජනා සකස් කරගැනීමට අප විශාල වෙහෙසක් ගත්තා‘

14:40 - ‘නොවිසඳුණු තවත් ගැටළු රාශියක් පවතින බව පිළිගත යුතුව තිබෙනවා.‘

14:40 - ‘නව රජය පිහිටුවීමෙන් පසුව සමාජයේ නොයකෙුත් අංශයන්වල විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවුණා‘

14:39 - ‘ශ්‍රී ලංකාවේ නව සමකාලීන දේශපාලනයේ නව පිටුවක් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පියවර ගත්තා. මේ අවස්ථාව මග හැරී යාමට ඉඩ නොදිය යුතු බව මම අවධාරණය කරනවා‘

14:38 - ‘අපගේ ජනතාව රටේ ජීවනාලියයි. ජනතාවගෙන් සුළු කොටසක් ජාතික ආදායමෙන් වැඩිකොටසක් භුක්ති විඳින බව පෙනී යනවා‘

14:37 - ‘පසුගිය පාලන සමයේදී බදු ආදායම් මට්ටම අඩුවීමෙන් ශ්‍රී ලංකාවේ බදු ආර්ථිකය පහළ වැටුණා‘

14:36 - ‘මම යළිත් වරක් දේශමාමක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව නීතිමය ක්‍රියාවලිය දෙස බලාසිටින ලෙසයි‘

14:35 - ‘පැවති රජය ඉතා වැඩි පොළියට විදේශ ණය ලබාගැනීම විශාල බලපෑමක් කළා. මෙවැනි ප්‍රාග්ධන අදායම් ලැබිය හැකි ව්‍යාපෘති සඳහා නොයදවා දීර්ඝ කාලීන ව්‍යාපෘති හා ශක්‍යතාව ප්‍රබල ව්‍යාපෘතිවලට යොදවා තිබුණා‘

14:34 - ‘ආර්ථිකයේ විවිධ අසමතුලිතතා ඇතිවුණා. පසුගිය රජය මහාමාර්ග, වරාය හා ගුවන්තොටුපළ සඳහා ඉතා විශාල විදේශ ණය අරගෙන එම ක්ෂේත්‍ර වෙනුවෙන් වැඩි වියදමක් දැරුවා‘

14:33 - ‘දේශපාලන ප්‍රහසයන් සමහරු කුල්මත් කළා. නමුත් අපහසුතාවයට පත්වුණේ ශ්‍රී ලංකාවයි. ජීඑස්පී ප්ලස් වැනි සහන ශ්‍රි ලංකාවට අහිමිවුණා. අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරමින් ආර්ථිකයේ ස්වර්ණමය යුගයකට රට ගෙනයාමේ අවස්ථාව පසුගිය රජයට තිබුණා‘

14:31 - ‘ආයෝජකයින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණියේ නව චින්තනයකිනි. දැවැන්ත ව්‍යවසායකට අප රට ගොදුරුවූයේ රජයේ ගජමිතුරු දේශපාලකයන් දකුණේ සංචාරක හෝටලයකට ඇතුළුවී දෙදෙනකු මරා දැමීම නිසාය. රටද අවමානයට පත් කරමින් ආර්ථික වර්ධනය අඩාල වුණා‘

14:29 - ‘රජයක් ලෙස අප කිසිවිටක රජයේ ආරක්ෂාව ලගු කොට නොසලකන අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිමය ලබාදෙනවා‘

14:29 - ‘අති දරුණු ත්‍රස්තවාදී පීඩවන්ගෙන් අප රට බේරාදුන් සියලු දෙනා සිහිපත් කරනවා. ඔවුන් කළ කැපවීම වෙනුවෙන් සිහිවටන හා සමරු ඵලක ස්ථාපිත කළත් නිම කළ නොහැකි වනු ඇත‘

14:29 - ‘ජනතාව සිරගතවී බලාපොරොත්තු විරහිතව දැඩි පීඩනයෙන් සිටි යුගය නිමා කරමින් 2015 ජනවාරි යළි පිබිදීමක් ඇතිවුණා‘

14:27 - ‘2009 වසරේ ත්‍රස්තවාදයේ සියලු අමනුෂ්‍ය අඳුරු පැතිකඩ නිමාකරවීමට හැකිවුණා. ඉන්පසු ජනතාව බලාපොරොත්තුවුණේ පටි ලිහිල් කරගැනීමයි. එහෙත් දිනෙන් දින වැඩිවන ණය බර මිස ජනතාව බලාපොරොත්තුවූ සුඛිත මුදිත ආර්ථිකය නොලැබී ගියා‘

14:26 - ‘2004 වසරේ සිදුවූ රජයේ වෙනස්වීම නිසා බලාපොරොත්තුවූ ආර්ථික වර්ධනය ලබාගත නොහැකි වුණා‘

14:24 - ‘ශ්‍රී ලංකාව විනාශ මුඛයට යාමට නොදී රැකගෙන තවදුරටත් පවතින ක්‍රමවේදය අනුගමනය කළ නොහැකිය. ප්‍රතිසංස්කරණවලට වහා යොමුවිය යුතුය‘

14:23 - ‘2001 සිට 2002 කාලය තුළ යළිත් වරක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නව ආර්ථික දැක්ම අනුව ආර්ථික වර්ධන වේගය හොඳ මට්ටමකට ගෙන ආවා‘

14:22 - ‘රජයේ ආයතන පෞද්ගලීකරණ ක්‍රියාවලිය කඩිනම් කළා. ත්‍රස්තවාදී ක්‍රියාන්විත වල අතුරු ප්‍රතිඵල ලෙස ආර්ථිකය අඩපණ වුණා. එහි ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලනු වෙනුවට ත්‍රස්තවාදය මර්දනය කිරීමට අවධානය යොමු වීමයි. 2001 වසරේ ඍණාත්මක ආර්ථික වර්ධන වේගයක් ඇතිවුණා‘

14:20 - ‘රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, රොනී ද මැල් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යන සුවිශේෂී දේශපාලන චරිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහමගකට යොමු කර සුවිශේෂ වර්ධනයක් ඇතිකරලීමට සමත් වුණා‘

14:18 - ‘එදා පැවැති හාල් පොලු හා පාන් පොලු පිළිබඳව මතකයට ගොනු කරගත හැකියි. ජනතාවගේ ආර්ථික නිදහස සැබැවින්ම සීමා වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති තුළින් ශ්‍රී ලංකාව 1977 සිට විවෘත ආර්ථිකයකට යොමු කරවනු ලැබුවා‘

14:14 - ‘ඉඩම් නිවාස හා සෞඛ්‍ය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපගේ ආර්ථිකය කෘෂිකර්මය මත පදනම් වෙනවා. ජනපතිතුමා ගොවි පරපුරකින් පැවත එන්නෙක් ලෙස එතුමාගේ වැඩපිළිවෙළින් කෘෂි ආර්ථිකයෙන් සුරක්ෂිත වනවා පමණක් නොව යළිත් ආසියාවේ ධාන්‍යාගාරයක් ලෙස මෙරට නම් කළ හැකිය.‘

14:12 - ‘පසුගිය රජයේ අගතිගාමී දෝෂ සහගත ආර්ථික කළමනාකරණයක් දක්නට ලැබුණු අතර යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ජාත්‍යන්තර වෙළඳ පළ හා ආයෝජන ප්‍රවර්ධන මගින් ශ්‍රී ලංකාවේ නිපුණත්වය ගොඩනැංවිය යුතුයි‘
 

14:11 - ප්‍රතිපත්ති ප්‍රකාශනය අයවැයේ පදනම බවත් දිගුකාලීන ප්‍රතිඵල ගෙන දෙන වැදගත් ආර්ථික අඩිතාලමක් අත්‍යවශ්‍ය බව එමගින් පැහැදිලිව පෙනෙන්නට ඇතැයි රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
එමගින් ප්‍රතිපත්ති සම්පාදනය කර වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව මුදල් ඇමැතිවරයා කීවේය.

14:09 - අපගේ ජාතිය ගුණයෙන් හා යහපැවැත්මෙන් ඉදිරියට යාමට අනාගත පරපුරට ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි ආර්ථිකයක් සකස් කිරීම තම රජයේ අරමුණ බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

14:08 - පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් සිදු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.