17072024Wed
Last update:Wed, 08 May 2024

මහ නගර සංවර්ධන සැලැස්ම ජනපතිට

president maithripala sirisena 380බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සමස්ත මහ නගර සංවර්ධනය සඳහා ක්‍රියාත්මක මහ නගර සංවර්ධන සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

රටපුරා තිබෙන අවිධිමත් නාගරික සංවර්ධනය විධිමත් නාගරික සංවර්ධනයක් බවට පත්කරමින් ජනතාවගේ ඒකපුද්ගල සතුට වැඩිකරන ස්ථාන බවට මහ නගර පත්කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. නගර අලංකරණය මෙන්ම ජනතාවගේ ජන ජීවිතය නගාසිටුවීම ද මෙමඟින් සිදුකෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නව රජය නව වසරේ ක්‍රියාවට නංවන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතිය වන මහ නගර සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලුදෙනා දායක විය යුතු බවයි.

මහ නගර සංවර්ධන සැලැස්ම 2016 නව වසර ආරම්භයත්  සමඟම ක්‍රියාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු මෙන්ම සියලු රාජ්‍ය නිලධාරින් ප්‍රමුඛ කාර්යයක් සේ සලකා එහි වගකීම් ඉටුකළ යුතු බවද ප්‍රකාශ කළේය.

මහ නගර සංවර්ධන සැලැස්ම තුළ ප්‍රමුඛතා කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර දැඩි ලෙස විවේචනයට ලක්ව ඇති කඩිනමින් විසඳුම් සෙවිය යුතු අධික වාහන තදබදය, කැළි කසළ ගැටලුව, පැල්පත්වාසීන්ගේ නිවාස ගැටලුව මෙන්ම පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳවද එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ.

අදියර 03ක් යටතේ ක්‍රියාත්මක සුවිසල් නගර සංවර්ධන සැලැස්ම 2030 වසර දක්වා විහිදී යයි.

සියලු මහ නගර එක සේ සංවර්ධනය කර පහසුකම් සොයා කොළඹ නගරයට ඇදී එන ජනතාව අවම කරගැනීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ඉදිරි වසර 10 තුළ ‍අමෙරිකන් ඩොලර් බිලියන 30 ක පමණ ආයෝජන අපේ රටට ගෙන්වා‍ගත හැකිවනු ඇති බවයි.

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අර්ජුන රණතුංග, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර ‍ෙද්වප්‍රිය යන මහත්වරුන් ඇතුළු ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මැති ඇමැතිවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.