17072024Wed
Last update:Wed, 08 May 2024

අගමැතිගෙන් ආවේගශීලී පිළිතුරු

ranil wickramasinghe Dec18පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රීලංකාවේ තනාපති සේවය පිළිබඳ කරුණු විමසීය.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා පැවසුවේ තනාපති සේවයෙන් 51% ක් වෘත්තීමය විදේශ සේවයේ නිරතවූවන් පත්කර ඇති බවත් 49% ක්  දේශපාලන පත්වීම් සිදු කර ඇති බවත්ය. 

එහිදී අදහස් දැක්වූ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කියා සිටියේ සාමාන්‍යයෙන් තනාපති සේවාව සඳහා වෘත්තිමය සේවාවක් ඇති පුද්ගලයන් 70% පමණ පත්කළ යුතු බවය.

එසේ නොකර එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පවා පත්කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරමක් ආවේගශීලීව පිළිතුරු දුන්නේය. 

අගමැතිවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව තනාපති සේවය සඳහා සුදුසු පුද්ගලයන් පත්කර ඇති අතර පසුගිය ආණ්ඩු මෙන් තනාපතිවරු හරහා ව්‍යාපාර නොකරන බවය.

එමෙන්ම මේ වන විට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයෙකු පත්කර ඇතිද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විමසූ විට ඒ සඳහා වැඩබලන නිලධාරියකු පත්කර ඇති බව අගමැතිවරයා පැවසීය.

එමෙන්ම මෙම  නිලධාරීයාට බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සමග සෘජුව දුරකථනයෙන් සම්බන්ධවීමට හැකිබව ද අගමැති වික්‍රමසිංහ සදහන් කළේය.

එමෙන්ම ශක්තිමත් විදේශ සේවයක් නිර්මාණය කිරීමට තවත් වසර 2ක් පමණ ගතවනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් අනාවරණය කළේය.