17072024Wed
Last update:Wed, 08 May 2024

ජනපති, වතිකානුවේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදකී

0211 1140x789ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවක් මත රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අතර හමුව වතිකානුවේ විශේෂ පිළිගැනීම් ශාලාවේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාෙවි දී ලැබුණු පිළිගැනීම පිළිබඳව සිය සතුට පළ කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර වලින් හෙබි සුහදශීලී ජනතාවක් වෙසෙන ස්වාභාවික සෞන්දර්යයෙන් ද අනූන රටක් ලෙස තමා දකින බව ජනාධිපතිතුමා හමුවේ පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ලෝකයේ දැනට සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිතුමා සමග සාකච්ඡාවට බඳුන් කෙරිණි.

යුධ ආයුධ නිෂ්පාදනය නතරකිරීම, ලෝකයේ යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය බව අවධාරණය කළ උන්වහන්සේ සරල දිවි පෙවෙත සහ සාමය සඳහා කැප වූ නායකයෙකු ලෙස ජනාධිපතිතුමා පිළිබඳව සමීප ලෙන්ගතුකමක් තම හදවතට දැනෙන බව ද සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙල සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදය මහත් ශක්තියක් බව පැවසූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාව පමණක් නොව අනෙකුත් සියලූ ආගම් හි බැතිමතුන් තුළ ද පාප් වහන්සේ පිළිබඳව මහත් වූ ගෞරවයක් පවතින බව උන්වහන්සේ හමුවේ අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කැප වූ නායකයෙක් වශයෙන් තමාට හැඟෙන බව පැවසූ උන් වහන්සේ සාමය සහ එකමුතුකම අර්ථවත් වන විශේෂ සමරු සිහිවටනයක් ජනාධිපතිතුමන් වෙත පිරිනැමීය.

එසේම පරිසරය රැකගැනීම සහ සමාජ සාධාරණත්වය පිළිබඳව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථයක් ද ජනාධිපතිතුමන් වෙත මෙහිදී පිරිනැමිණ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ජනාධිපතිතුමා වතිකානු රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වන පියෙට්‍රෝ පැරොලින් කාඩ් (Pietro Parolin Card) මහතා සමග ද සාකච්ඡාවක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ වතිකානු අග්‍රාමාත්‍ය පියෙට්‍රෝ පැරොලින් කාඩ් මහතා ඒ වෙනුවෙන් සිය උපරිම සහාය ලබා දෙන බව ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළේය.

සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම ඉටු කරන බව ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යවරයා හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ද දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම හමුවීම් සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි රෝසි සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රීත තිසේරා යන මහත් මහත්මීන් ද එක්ව සිටියහ.

07 02 03 04 06