17072024Wed
Last update:Wed, 08 May 2024

රටේ දැවැන්තම වෙනස ඉදිරි මාස දෙකේදී

dinaminaඉදිරි මාස දෙකේදී ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙනසක් සිදුවන බවත් එය ජනතාවගේ අපේක්ෂාවක ප්‍රතිඵලයක් බවත් අධිකරණ සහ බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ රටට අත්‍යාවශ්‍ය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ බවත් එහි මූලික අදියර ආරම්භ කර ඇති බවත් එය ජනතාව සකස් කරන ව්‍යවස්ථාවක් වීම මෙහි ඇති විශේෂත්වය මෙන්ම වැදගත්කම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව සමස්ත රටවැසියන් දැනුම්වත් කරමින් ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති මූලධර්ම තීන්දු පිළිබඳ ජනතාවගේ අදහස් ලබාගන්නා බවයි.

රාජ්‍ය පාලනයට සහභාගිවීම ජනතාවගේ පරම වගකීමක් බවත් මෙහිදී අවධාරණය කළ ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා ජනතාවගේ හඬ අනුව ආණ්ඩුව තීන්දු තීරණ ගන්නා බවත් ජනතා මතයේ ප්‍රබලත්වය පිළිබඳවත් මෙහිදී සඳහන් කළේය. මහජනතාවගේ සහාය රාජ්‍ය පාලනයට ලබා දිය යුතු බවත් එසේ නැතිව අවලාද නැගීමෙන් පලක් නැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසෙන්නේ ජනතාවගේ අදහස් සැලකිල්ලට ගනිමින් බවත් පැවැසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන බවට මැතිවරණ සමයේදී තමන් ජනතාවට පොරොන්දු දී ඇති බවද පැවසීය. දිනමිණ පුවත්පත සමඟ මාසිකව පාඨකයන්ට පිරිනමන අධිකරණ මාසික අතිරේකයේ මංගල කලාපය ඊයේ (10) ලේක්හවුස් ආයතනයේදී එළිදැක්වු අවස්ථාවේදී ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය. අධිකරණය අමාත්‍යංශය දිනමිණ පුවත්පත සමඟ එක්වී නීතිය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීම උදෙසා අධිකරණ අතිරේකය පිරිනමනු ලැබේ.

දිනමිණ පුවත්පත සමඟ ප්‍රකාශයට පත්වන අධිකරණ අමාත්‍යාංශයේ නිල පුවත්පත 'අධිකරණ' ඊයේ (10) ලේක්හවුස් පරිශ්‍රයේදී එළිදැක්වූ අවස්ථාව. බුද්ධ ශාසන හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය ඇමැති දුශ්ෂන්ත මිත්‍රපාල, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න හා අතිරේක ලේකම් සුනිල් සමරවීර මහත්වරු මෙහි වෙති. ඡායාරූපය - ලලිත් සී. ගමගේ