17072024Wed
Last update:Wed, 08 May 2024

එන්.ජී.ඕ. රටේ ආරක්ෂාවට බාධා නම් තහනම් කරනවා

ruwan wejayawardhanaපසුගිය කාලයේ තහනම් කර තිබූ රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයන් ගණනාවකට සම්බන්ධව පනවා තිබූ තහනම මේ රජය මගින් ඉවත් කළත් යම් ආකාරයකින් ඔවුන් රටේ ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් කටයුතුවල යෙදෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළිත් ඒවා තහනම් කිරීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ අතර පසුගිය කාලයේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබූ පුද්ගලයන් ඉදිරියේදී යම් ත්‍රස්තවාදී හෝ ජාතික ආරක්ෂාවට බලපාන කටයුතුවල යෙදේ නම් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඔවුන් යළි අත්අඩංගුවට ගැනීමටද කටයුතු කරන බව ද ඒ මහතා කීය. ආරක්ෂක අමාත්‍යාංශය මඟින් පත් කළ

කමිටු වාර්තාවත්, බුද්ධි අංශ වාර්තාව, ත්‍රස්තවාදී විමර්ශන අංශ වාර්තාව සහ බන්ධනාගාර වාර්තා මත සලකා එම පුද්ගලයන් ඇප මත නිදහස් කරනු ලැබුවත් බුද්ධි අංශ ඔවුන් පසුපස නිරතුරුවම කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

රටේ ජාතික ආරක්ෂාවේ වගකීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අවධානයක් යොමු කර ඇත.

ජාතික ආරක්ෂාවට බලපාන යම් දෙයක් සිදුවේ නම් ඒ පිළිබඳ සොයා බලා එම තත්ත්වය මැඬලීමට ජනාධිපතිවරයා දැඩි පියවර අනුගමනය කිරීමට සූදානමින් සිටින බව ද කියයි.

ජාතික ආරක්ෂාවට බාධා ඇති වී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නැත. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ආරක්ෂක අමාත්‍යාංශයත් ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබියදී බන්ධනාගාරව සිටි සැකකරුවන් නිදහස් කළේ දැඩි වගකීමක් ඇතිව බවද රුවන් විජයවර්ධන අමාත්‍යවරයා පවසයි.

මෙම රජය පමණක් නොව 2010 වසරේදී දේශපාලන වාසි තකා එවකට පැවැති රජයද ත්‍රස්තවාදී සැකකරුවන් 360ක් නිදහස් කිරීම සම්බන්ධවද මෙහිදී අමාත්‍යවරයා කරුණු හෙළිදරව් කළේය.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ කිසිවකුත් ඉදිරියේදී දේශපාලනඥයන්ගේ ආරක්ෂක කටයුතුවලට නොයෙදවීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ත්‍රිවිධ හමුදාව සිටින්නේ රට ආරක්ෂා කිරීමට මිස දේශපාලනඥයන් ආරක්ෂා කිරීමට නොවන බැවින් දේශපාලනඥයන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් මින් ඉදිරියට කටයුතු කරන්නේ පොලිසිය පමණක් බවද යම් දේශපාලනඥයකුගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදිය යුතු පොලිස් නිලධාරීන් ප්‍රමාණය තීරණය කරන්නේ පොලිස්පතිවරයා බවද පවසයි.