17072024Wed
Last update:Wed, 08 May 2024

අල්ලස් පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බව ජනපති පවසයි.

015 1140x396අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා අල්ලස් පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය නිමිත්තෙන් අද (09) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති උත්සවයට එක් වෙමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම දෙසැම්බර් 09 වැනිදා ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය ශ්‍රී ලංකාව තුළ ද සමරනු ලබයි.
එහෙත් දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඊට ජනාධිපතිවරයෙකු සහභාගී වූයේද ප්‍රථම වරටය.
මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එදා පැවති රජයන්ට පාරට බැස ජනතාව සමග දූෂණ විරෝධි දිනය සැමරීමට හැකියාවක් නොතිබූ බවයි.
අඩු පාඩු මෙන්ම අතපසුවීම් සිදුවිය හැකි මුත් දූෂණය, අක්‍රමිකතාවය, වංචාව සහ අල්ලස කිසිවිටෙකත් සිදුවිය නොහැකි බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා නව රජය කටයුතු කරනු ලබන්නේ අල්ලස, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදකිමින් බවද ප්‍රකාශ කළේය.
අල්ලස සහ දූෂණය සමාජයෙන් තුරන් කර දැමීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වූ කරුණු අද ඉටුවෙමින් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව, අධිකරණය වැනි ඊට සම්බන්ධව කටයුතු කරන කිසිදු ආයතනයකට අද දේශපාලන ඇගිලි ගැසීම් සිදු නොවන බවත් සාධාරණව සහ යුක්තිගරුකව සිය සේවය ඉටු කිරීමට ඔවුන්ට අවස්ථාව උදා කර දී ඇති බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම එම ආයතනවලට අවශ්‍ය ව්‍යවස්ථාමය නීති රීති සම්පාදනය කරමින් බලාපොරාත්තුවන අරමුණු ඉටු කර ගැනීම සඳහා සහායවීමට රජය නොපැකිළිව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
අල්ලස හා දූෂණයට එරෙහිවීමට ජනතාව පෙළගැසීම වෙනුවෙන් “අල්ලසෙන් හා දූෂණයෙන් තොර රටක්” තේමාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ සිවිල් සංවිධානවල මෙහෙයවීමෙන් මෙම ජාතික උත්සව සංවිධානය කර තිබූ අතර පා ගමනක්ද ඒ හා සමගාමීව සංවිධානය කර තිබුණි.
වාර්ෂිකව පිරිනමනු ලබන ජාතික සුපිලිපන් සම්මාන දූෂණයට එරෙහිව හඩ නැගීම වෙනුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට සහ අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන් වෙනුවෙන් පිළිගැන්විනි.
කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය සාගල රත්නායක, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ති්‍ර සුනිල් හඳුන්නෙත්ති, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසුරිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ද එක්සත් ජාතින්න්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ඇතුළු විදේශ තානාපතිවරු ද මීට එක්ව සිටියහ.