17072024Wed
Last update:Wed, 08 May 2024

ඉන්දු-ලංකා නව තාක්ෂණ සහයෝගිතා ගිවිසුමක්

sl and indiaවෙළෙඳ ආයෝජන කර්මාන්ත සහ ආර්ථික අංශවලින් දෙරටටම වාසිදායක ප්‍රතිඵල හිමිවන පරිද්දෙන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර නව තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් වේ. ලබන වසර මැද වන විට නව ගිවිසුම අත්සන් තැබීමට හැකිවනු ඇතැයි උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා අනාවැකි පළ කෙළේය. ලෝකයේ ශීඝ්‍රයෙන්ම ආර්ථිකය වර්ධනය වන රට ඉන්දියාව වීමත් එය අප රටට කිලෝමීටර් 20ක් තරම් දුරින් පිහිටා තිබීම නිසාත් මේ ගිවිසුම මඟින් වැඩි වාසි අත්කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවත් මලික් සමරවික්‍රම මහතා පැහැදිලි කළේය.

නව ගිවිසුම පිළිබඳව මේ වන විට දෙරටේ උපදේශකවරුන් වෘත්තීයවේදීන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේදී තවත් ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වනවා. ඊට අමතරව දෙරටේම වාණිජ මණ්ඩල ප්‍රධානීන් සමඟ කරුණු කතිකා කරනවා යැයි ඇමැතිවරයා කීය.

මේ ගිවිසුම බොහෝම විනිවිදභාවයෙන් යුතුව සම්පාදනය කරනු ලබන්නක්. දෙරටටම ජයග්‍රහණ හිමිවන තත්ත්වයක් මෙයින් නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා ඇමැතිවරයා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට සහභාගී වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවුණා. මෙය අප රටවල් දෙකටම වටිනා අවස්ථාවක් වුණා ඇමැතිවරයා කීය.

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (08) උදේ ඇරඹි ඉන්දීය නිපැයුම් ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙම ප්‍රදර්ශනය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ. උදේ 7.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙය මහජනතාව විවෘතව පවතී. ඉන්දීය නිෂ්පාදන සමාගම් 100ක වෙළෙඳ කුටි 170ක් මෙහි ඇත.

මේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක ඉන්ද්‍රා මල්වත්ත, ඉන්දිය වෙළෙඳ ප්‍රවර්ධන සංවිධානයේ සාමාන්‍යාධිකාරී වී. මීරා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය දෙරටේ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ ප්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.