17072024Wed
Last update:Wed, 08 May 2024

තහනම් උත්තේජන චෝදනා ප්‍රතික්ෂේප කරයි

kusalතහනම් උත්තේජන භාවිතා කොට තරග වැදුණේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ‘බී‘ මුත්‍රා සාම්පල පරික්ෂණයට යා යුතු යැයි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

එම පරීක්ෂණය ක්‍රීඩකයාගේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සිදුකළ යුතු අතර ක්‍රීඩකයා ඉල්ලා සිටින ඕනෑම පිළිගත් රසායනාගාරයකදී පරික්ෂාව කළ හැකි වේ. එහිදී චෝදනාව ඔප්පු වුවහොත් ක්‍රීඩකයාට ලබාදෙන දඬුවම තීරණය කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටුව තීරණය කරනු ලබයි. එහෙත් එම තීරණයට පෙර චෝදනාව එල්ලවූ ක්‍රීඩකයාට නිදහසට කරුණු දැක්වීමේ අවස්ථාවක් හිමිවන අතර ඒ සදහා නීතිඥ සහයද ලබා ගැනීමේ අවස්ථාව උදා වේ.

තහනම් උත්තේජන පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ‘ඇනබොලික් ස්ටොරයිඩ්‘ නම් සංඝටකය කුසල් ජනත්ගෙන් ලබාගත් මුත්‍රා ‘ඒ‘ සාම්පලයේ ඇති බවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ එම සංඝටක ලෝක තහනම් උත්තේජන නිවාරණ ඒජන්සියේ තහනම් කරන ලද ලැයිස්තුවට ඇතුලත් බවයි.

“ඇනොබොලික් ස්ටොරයිඩ් අඩංගු කිසිම දෙයක් ගැනීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම්. ඒක ලෝක පිළිගත් මතයක්. ක්‍රීඩකයා චෝදනාව ප්‍රතික්ෂේප කළහොත් අනිවාර්ය‍යෙන්ම ‘බී‘ සාම්පල පරික්ෂාවට යනවා. මුත්‍රා සාම්පල් එකතු කළේ අපගේ ආයතනයේ වෛද්‍යවරු. නමුත් පරීක්ෂණය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. පරීක්ෂණය සිදු කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන ලද රසායනාගාරයකයි “ මහාචාර්යවරයා පැවැසීය.කෙසේ වුවද වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති තරගකාරීත්වය අනුව ක්‍රීඩකයින් වඩාත් ප්‍රවේශම් විය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“ජාත්‍යන්තර තරගවලදී ක්‍රීඩකයින් රාත්‍රී ප්‍රිය සම්භාෂණවලට යෑමේදී පරිස්සම් වෙන්න ඕනෑ. කණ්ඩායමේ කළමනාකරු සිටියත් යම් චෝදනාවක් එල්ල වුවහොත් වගකීම එන්නේ ක්‍රීඩකයාට පමණයි. කෑම බීම වලින් වුණත් තහනම් උත්තේජන ඇති බෙහෙතක් ශරීර ගත කළ හැකියි. තහනම් උත්තේජන ශරීරගත වූ අවස්ථාවකදී ක්‍රීඩකයාට දන්නේ නෑ කියා නිදහසට කරුණු කියන්න බෑ. දැන් ලොක තහනම් උත්තේජන නීතිය අනුව වසර 4ක් දක්වා දඬුවමක් දිය හැකියි. කුසල් ජනිත්ට දඬුවමක් හිමි වුවහොත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවීම පාඩුවක් “ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

මෙවැනිම චොදනාවක් උපුල් තරංගට එල්ල වූ අතර ඔහුට මාස තුනක තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැන වුණි. එහෙත් උපුල් තරංගගේ ශරීරගතව තිබුණේ ඇනබොලික් ස්ටොරයිඩ් නම්වූ තහනම් සංඝටකය නොවන බව ද මහාචාර්යවරයා සිහිපත් කළේය.

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජන චෝදනාවට ලක්වු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වේ.