17072024Wed
Last update:Wed, 08 May 2024

මුල්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් අගනා යෝජනා

01 mulya 0සුළු හා මැදි පරිමාණ ව්‍යාපාර ඇරඹීමට ඇප රහිත ණය , නිවාස ඉඳිකරගන්නට වැඩිපුර මුදල් හා බැංකුවලින් කල් බදු ව්‍යාපාරය ඉවත්කිරීම වැනි රටේ මූල්‍ය අංශයේ දියුණුවට අයවැයෙන් අගනා යෝජනා රැසක් සිදු කොට ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති හා කැන්ඩර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රවි අබේසූරිය මහතා ප්‍රකාශ කළේය.

රටේ ජනතාවට අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ ස්වයං රැකියා ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කිරීමට මුදල් ලබාදීම බැංකු පද්ධතියේ මූලික කාර්ය විය යුතු බවට රජය අයවැයෙන් කළ යෝජනාව ඉතාම වැදගත් එකක් බව රවි අබේසූරිය මහතා කීය.

ලබන වසරේ ජුනි 01 වැනිදා සිට බැංකු කල්බදු ව්‍යාපාරයෙන් ඉවත් විය යුතු බවට කළ යෝජනාව අබේසූරිය මහතා අගය කෙළේය.

රටේ බැංකු පද්ධතිය මඟින් ඉටුවිය යුතු ප්‍රධානම කාර්යය මූල්‍ය සම්පාදනයයි. ජනතාවට සිය ජීවන තත්ත්වය ඉහළට ඔසවා ගන්නට උදව් කිරීමට බැංකු ව්‍යාපාර ණය ලබාදිය යුතුයි. ඒ සඳහා සරල කොන්දේසි හා අඩු පොලී අනුපාත ලබාදීම වැදගත්. මේ බව රජය අවබෝධ කරගෙන තිබෙන බවක් අයවැය යෝජනාවලින් පැහැදිලිය.

බැංකුවලට විශාල වියදමක් දැරීමට සිදුවන්නේ පරිපාලන හා එදිනෙදා ගනුදෙනුකාර සේවා සිදු කිරීමට වැයවන පිරිවැයටයි‍. මේ වියදම් අඩු කර ගන්නට බැංකු පද්ධතිය නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි. ඒ සඳහා විශාල දිරිගැන්වීමක් අයවැයෙන් ලබාදී තිබෙනවා.

අපේ රටේ මධ්‍යම පාංතිකයින්ට හා අඩු ආදායම්ලාභීන්ටත් විශාල නිවාස අවශ්‍යතාවයක් තිබෙනවා. එය පියවා ගනනට අලුතින් නිවාස ඉඳි කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ආධාර ලබාදීමක් බැංකු පද්ධතියෙන් තවමත් සිදුවන්නේ නැති තරම්‍. ඒ නිසායි රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවත්, නිවාස සංවර්ධන මූල්‍ය සමාගම් බැංකුවත් එක් කිරීමට යෝජනා කොට තිබීම වැදගත්. මේ ආයතන දෙකේම අරමුණු ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමයි. මේ යෝජනා හරහා දැන් ඒ අයට එකට එකතු වී වැඩ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

බැංකුවල ශාඛා ඈත පිටිසර ගම්මාවලට ව්‍යාප්ත කිරීම, බැංකු ණය ලබාදීම් කඩිනම් කිරීමට දිරිදෙන ඉතාම හොඳ යෝජනා මෙවර හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමේ යෝජනාව ඉතා වැදගත්. එය ක්‍රියාවට නැංවීමට විශාල නීතිරීති පද්ධතියක් සකස් කළ යුතු වෙනවා. එනමුත් කෙසේ හෝ මේ යෝජනාවට මූලික කටයුතු ඉටු කිරීමට දිරි දීම ඉතා වටිනා කාර්යයක් බව අබේසූරිය මහතා කීය.