17072024Wed
Last update:Wed, 08 May 2024

ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති රටක් කරනවා

Wickremesinghe Nov3එළැඹෙන 2030 වර්ෂය වන විට ඉහළම ඒක පුද්ගල ආදායමක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බාධක පැමිණියද ඒ සියල්ල ජය ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය සියයට නමයක් දක්වා ඉහළ නැංවීම වත්මන් රජයේ ඉලක්කය වී තිබෙන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) කොළඹ කොටස් වෙළෙඳ පොලේ තිස්වන සංවත්සර උත්සවයට එක්වෙමිනි.

එහි දී අගැමැතිවරයා විසින් කොටස් වෙළෙඳ පොළ සීනුව නාදකරමින් කොටස් වෙ‍ළෙඳ පොළ ආරම්භ කරන ලදී.

මෙහ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගැමැතිවරයා අයි.එස්.අයි එස් සටන් කරුවන්ගේ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා හේතුවෙන් ලෝක ආර්ථීකය ඇද වැටී ඇති බවත් ඇමරිකාවේ ආර්ථිකය ද කඩා වැටීමට ලක්වෙමින් ඇති බව ද පෙන්වා ‍දුන්නේය. මෙම හේතු මෙරට ආර්ථිකයට බලපාන බවත් ‍ලෝක ආර්ථීකයේ කුමන අර්බුද පැන නැගුනත් ශ්‍රී ලංකා‍ව ඉහළ ආර්ථික වේගයකට අවතීර්ණ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් පැවැසීය.

වසර 2020 වන විට අය-වැය හිඟය සියයට තුනයි දශම පහක මට්ටමට පවත්වාගැනීමට අවශ්‍ය ඉලක්ක සම්පුර්ණ කරන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළහොත් කොළඹ දිස්ත්‍රික්කය ලෝකයේ අගනා වෙළඳ හා ආර්ථික දිස්ත්‍රික්කයක් බවට පත්වෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. කොටස් වෙළෙඳ පොල ගුණාත්මක භාවය හා විනිවිද භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය නව නීති රීති ගෙන එන බව ද අගමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ තුළින් කොටස් වෙළෙඳ පොළ ලංකාවේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයිද පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතනවල විනිවිද භාවය නැංවීම තුළින් මෙන්ම කොටස් වෙ‍ළෙඳ පොළ කොටස් නිකුතුවට අවතීර්ණ වීම තුළින් රාජ්‍ය ආයතන තවත් ශක්තිමත් වන බව ද කීය. ඒ තුළින් රාජ්‍ය ආයතන ක්‍රියාශීලී මෙන්ම ජාතික ආදායමට විශාල දායකත්වයක් ලා‍බා දෙන බව ද පෙන්වා ‍දුන්නේය.

මේ අවස්ථාව සඳහා මුදල් ඇමැති රවී කරුණානායක, ඇමැති කබීර් හෂීම්, ‍නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක, සභාපති තිලක් කරුණාරත්න, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කොටස් වෙළෙඳ පොල නියෝජිතයන්, මෙන්ම උසස් නිලධාරීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.