17072024Wed
Last update:Wed, 08 May 2024

ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන්න ඉඩ නොදෙමු

RanilWichremesighe Dec1රජාතන්ත්‍රවාදය සහ බහුවිධතාවය අවතක්සේරු කෙරෙන රැඩිකල්වාදය, ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය වැනි විනාශකාරී ප්‍රයත්නයන් හිස එසවීමට ඉඩ නොදීම පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්හි අවධානය යොමු විය යුතු කරුණක් බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේ මෝල්ටාවේ දී පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මංගල සමරවීර මහතා, ත්‍රස්තවාදය මැඩලීමේදී ප්‍රචණ්ඩත්වය මුදා හරින්නන් හා ඔවුන් විසින් නියෝජනය කරනවා යැයි උදම් අනන ජන සමූහයන් අතර ඇති වෙනස්කම් පැහැදිලිව හඳුනා ගැනීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන අපගේ අත්දැකීම් අනුව බහුතර දෙමළ ජනතාවගේ බලාපොරොත්තු හා අභිලාෂයන් නියෝජනය කරනවා යැයි පවසමින් දශක ගණනාවක් ප්‍රචණ්ඩත්වය මුදා හළ එල්.ටී.ටී.ඊ. සංවිධානය එවැනි අරමුණු නියෝජනය නොකළේය. තවද සාමකාමී වටිනා ආගමක් වන ඉස්ලාමය නියෝජනය කරන බහුතර ජනතාවක් ක්‍රෑර හා සාහසික ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් නියෝජනය නොකරන බව එලෙසම පෙනී යයි.

එබැවින් ත්‍රස්ත විරෝධී සියලුම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ ත්‍රස්තවාදීන් විසින් තමන් නියෝජනය කරනවා යැයි උදම් අනන මහජනතාවගේ හදවත් හා සිතුවිලි දිනා ගන්නා ආකාරයේ සක්‍රීය සැලැස්මක් සහිතවය.

එවැනි පසුබිමක් තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ජනගහනයෙන් 60%ක් පමණ වන තරුණ ජනයාට ස්ථාවර ආරක්ෂිත හා සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට තිබේ.

ඒ සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩසටහන් මගින් තරුණ ජනතාව තුළින් බිහිවන ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය වළකා ගැනීමත් ඔවුන් රැඩිකල්කරණයට ගොදුරුවීම අවම කිරීමත් පිළිබඳ දැනුවත්භාවය ඉහළ දැමීමටත් හැකියාව ලැබෙනු ඇතැයි පැවැසීය.