17072024Wed
Last update:Wed, 08 May 2024

ලබන වසරේ බ්‍රිතාන්‍ය අගමැති මෙරටට

DavidCameronලබන වසර මැද භාගයේදී මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරය‍ාගේ මෙම සංචාරයේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් කාලයේ සිදුවූවා යැයි කියනයුද අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි විධිමත් යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීම පිළිබඳව යැයි ද වාර්තා වේ. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ඉකුත්දා මෝල්ටාවේදී විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්විණි. ඒ නිමා වූ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අතරතුරදීය. මේ සාකච්ඡා සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගි වී තිබේ. මෙම හමුව අවස්ථාවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහජීවනය හා ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීමේ හා එහි ප්‍රතිලාභ සෑම ජන කණ්ඩායමකටම හිමිකරදීම පිළිබඳ වගවීමේ ඇති අවශ්‍යතාව පෙන්වා දී ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියාකරන බවද ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමඟිය, සහජීවනය ගොඩගැනීමට නව රජය ගන්නා සියලු උත්සාහයන්ට තම ප්‍රසාදය පළ කිරීමට ද ඩේවිඩ් කැමරන් මහතා අමතක නොකළේය. මීට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, පසුගිය මාස 10 ඇතුළත මානව හිමිකම් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, යහ පාලනය සහ සහජීවනය ගොඩගැනීමට ගෙන ඇති පියවරයන් සවිස්තරාත්මකව ඉදිරිපත් කළේය.

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට කෝටි 980ක ආධාර

ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 980 (යූරෝ ලක්ෂ 66) ආධාරයක් ලබාදීමට බ්‍රිතාන්‍ය එකඟවී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අතරතුර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් පසු මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට බ්‍රිතාන්‍ය එකඟ වී ඇත.

ශ්‍රී ලංකාවේ චිරස්තිථිය සහ ආර්ථිකසංවර්ධනය වෙනුවෙන් උපකාරි වීමට බ්‍රිතාන්‍ය දීර්ඝකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙම ආධාර මුදල එහි ආරම්භය බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත.

ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමටත් යුද්ධය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ජනජීවිතය නගාසිටුවීමටත් මෙම මුදල ලබාදෙන බව බ්‍රිතාන්‍ය පවසයි.