17072024Wed
Last update:Wed, 08 May 2024

විප්ලවය කළ පුද්ගලයින්ට ප්‍රතිවිප්ලවය පරාජය කළ හැකියි – ජනපති

Presidential Media Unit Common Banner 1විප්ලවය කළ පුද්ගලයින්ට ප්‍රතිවිප්ලවය පරාජය කළ හැකි බවත් නොවැම්බර් විප්ලවයේ අතීත මතක සටහන් අමතක නොකරමින් වර්තමානයේ කළ යුතු දේ සහ අනාගතය වෙනුවෙන් කළයුතු දේ සඳහා වෙහෙසිය යුතු බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (24) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දිනේෂ් වීරක්කොඩි මහතා විසින් රචිත “Great November revolution” කෘතිය එළදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

නොවැම්බර් විප්ලවය සඳහා සහය දුන්, කැප වූ, ජීවිත පරිත්‍යාග කළ සියලූ දෙනාටම තමන් අදටත් ස්තුතිවන්ත වන අතර අනාගතයේ ඇතිවන අභියෝග, බාධක තේරුම්ගෙන සියලූ දෙනා කටයුතු කළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලනය ඉතා සංකීර්ණ, ගැටලූ සහගත මෙන්ම අභියෝගාත්මක කටයුත්තක් වන අතර දේශපාලනය කරනු

ලබන්නේ අජීවී වස්තූන් නොව මිනිසුන්ම බවත් එබැවින් රජයක් බිහිකිරීම පවත්වාගෙන යාම මෙන්ම අනාගතයට මුහුණ දීමත් වඩාත් අවබෝධයෙන් කළ යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

“Great November revolution” ග්‍රන්ථයේ කර්තෘවරයා වන දිනේශ් වීරක්කොඩි මහතා ප්‍රකට ආර්ථීක විශ්ලේෂකයෙකු වන අතර වර්තමාන සමගි සංධාන රජය බිහිකිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ විද්වතෙකු ද වේ.

කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, රාවුෆ් හකීම්, පාඨලි චමිපික රණවක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතනහිමි, විජිත හේරත්, ඇතුළු මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වූහ.