17072024Wed
Last update:Wed, 08 May 2024

දක්ෂිණ සංවර්ධනය ගැන සාකච්ඡා කරනවා

rani Nov 15ගාල්ල, මාතර ඇතුළුව දක්ෂිණ නගර සංවර්ධනය සම්බන්ධයෙන් එම පළාත නියෝජනය කරන කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරු මෙන්ම පළාත් නියෝජනය කරන ඇමැතිවරුන්ද සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා සිදුකරන බවත්, මේ සංවර්ධන කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) ප්‍රකාශ කළේය.

දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය සතියේ දී මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැති බවත් දක්ෂිණ නගර සංවර්ධනයේ දී ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල ආදී සෑම නගරයක් කෙරෙහිම අවධානය යොමු කරන බවත් අගමැතිවරයා කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්න අවස්ථාවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.

මේ සම්බන්ධයෙන් දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සිදුකළා. නමුත් ඔබතුමාට එයට සහභාගිවීමට හැකි වුණේ නැහැ. මාතර නගර සැලැස්ම ගැන යෝජනා කීපයක් ආවා. විශේෂයෙන්ම රාහුල විද්‍යාලයේ ශාලාව ගැනත්, ගාල්ල, මාතර නගර දෙක ගැනම කතා කරලා, ගත යුතු පියවර සාකච්ඡා කළා. ඊට අමතරව අපි හම්බන්තොට ගැන කතා කළා. තංගල්ල නගරයට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. හම්බන්තොට ගැන ගත යුතු පියවර ගැන සාකච්ඡා කළා. අපි තීරණය කළා, දකුණු පළාතේ කැබිනට් මණ්ඩලයේ සහ කැබිනට් මණ්ඩලයේ නොමැති මැති ඇමැතිවරු නවදෙනකු සිටිනවා, ඒ නවදෙනා සහ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැහිලා, සාකච්ඡා කරන්න. මන්ත්‍රීවරු මාතර සැලැස්ම ගැන යෝජනා කිහිපයක් කර තිබුණා, එතැන දී සාකච්ඡා කර දෙන්න. අපිට හුගක් වැඩ කරන්න තිබෙනවා. හම්බන්තොට වැඩ ටික කරලා, මාතර කරන්න තිබෙනවා යැයි අගමැතිවරයා කියා සිටියේය.

ඩලස් අලහප්පෙරුම මහතා:-

මට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුණේ මම වෙනත් උත්සවයක සිටි නිසයි. නගර ශාලාවක් නැති එකම නගරය මාතර විය හැකියි. ජනාධිපති, අගමැති කවුරු ගියත් උත්සවයක් ගන්නට සිදු වන්නේ පාසල් ගොඩනැගිල්ලයි. කොටවිල ප්‍රදේශයේ අක්කර 300ක භූමියක් මාතර නගර සංවර්ධනයට වෙන් කළා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න.