17072024Wed
Last update:Wed, 08 May 2024

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට සූදානම්

ranil wickremesinghe Nov24අගමැති රනිල් කියයි

ඉන්දීය සාගර කලාපීය ආරක්ෂක ගැටලු විසඳා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සමන්විත බහු පාර්ශ්වික සංවාද මණ්ඩපයක් පිහිටුවීමේ කාර්යයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එවැනි සංවාද මණ්ඩපයකින් විශේෂයෙන් ඉන්දීය සාගරයටත් පොදුවේ ඉන්දු පැසිපික් කලාපයට බලපාන ගැටලු රාශියක් පිළිබඳ අවධානය යොමු කෙරෙන කාලීන හා අදාළ යාන්ත්‍රණයක් සඳහා මගපෑදෙනු ඇති බව ද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය. එම ක්‍රියාවලිය ආයතන ගත කළහොත් එමගින් ශ්‍රී ලංකාවටත් අනෙකුත් පාර්ශ්වයකරුවන්ටත් වැදගත් වන ඉසව් ගණනාවක අන්‍යෝන්‍ය උපකාරී සහයෝගිතාවක් සඳහා අවස්ථාව සලසනු ඇති බව ද වික්‍රමසිංහ මහතා කීය.

පුළුල් සාගරික සහයෝගිතාවය තුළින් සමුදුර සුරැකීම, අභියෝග සහ ඉදිරි දැක්ම යන තේමාව යටතේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවැනි වසරටත් සංවිධානය කළ ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට ඊයේ (23) සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

කිසිදු රටකට තමන් කෙතරම් දියුණු හා ශක්තිමත් වුවත් සාගර කලාපීය ආරක්ෂක රත්ජන සම්බන්ධයෙන් තනිවම වගබලා ගැනීමට නොහැකි බව පැහැදිලි යැයි ද සාගර කලාපීය ආරක්ෂක ප්‍රශ්න හා තර්ජන ඵලදායි ලෙස ආමන්ත්‍රණය කිරීමට නම් ගෝලීය වශයෙන් සිතීමටත්, සාමූහිකව වැඩ කිරීමටත් සිදුවන බව ද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ය.

අද බහාලුම් මගින් ප්‍රවාහනය කෙරෙන වෙළෙඳ භාණ්ඩවලින් අඩකටත් වඩා ගමන් කරනුයේ ආසියානු මුහුදු මාර්ගය ඔස්සේ බව ද අගමැති වික්‍රමසිංහ මහතා පෙන්නා දුන්නේ ය.

දිගින් දිගටම පැවැති ත්‍රස්තවාදය නිසා ශ්‍රී ලංකා රජයේ අවධානය ගොඩබිම ආරක්ෂාව කෙරෙහි පමණක් යොමුකර තිබීම වෙනස් කර ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සාගල රත්නායක, අර්ජුන රණතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහත්වරුන්ද සහභාගි වූහ.