17072024Wed
Last update:Wed, 08 May 2024

ගාලු කථිකාව ඇරඹෙයි

gaalu ktikaav 2 0රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව (Galle Dialogue) අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද ගාල්ල, ලයිට් හවුස් හෝටලයේදී ආරම්භ විය.

 “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 37ක සහ ජාත්‍යන්තර සංවිධාන 10ක දෙස් විදෙස් නියෝජිතයින් සහ සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් සියයකට වැඩි පිරිසක් සහභාගී වී සිටිති.

 සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමෙන් මෙම සමුළුව ආරම්භ විය

.

සෞභාග්‍යය සඳහා මංපෙත් විවර කරගත හැකි සම්පත් රාශියක් සාගරය සතුව පවතී.

එම සම්පත් නිවැරදි භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒවා යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගීත්වය සහ සියලුම පාර්ශවයන් හට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් ඉදිරි දෙදින තුළ සාකච්ජා කිරීමට අපේක්ෂිතය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම සමුළුව, නාවික හමුදාවන්ට පොදුවූ කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ ඔවුන්ගේ වටිනා දැනුම් සම්භාරය හා සුවිශේෂී අදහස් හුවමාරු කරගන්නට අවස්ථාව උදා කර දෙනු ඇත.

නාවික හමුදාව සෑම වසරකම වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිදුකරන “ගාලු කථිකාව අන්තර්ජාතික සමුළුව” ඒ සඳහාම ආවේණික වූ විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ විද්වත් අදහස් හුවමාරු කරගන්නා මනා සංවාදයකි.

ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායකයාණන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ මෙම සමුළුව අඛණ්ඩ සයවන වසරටත් පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිය හා විශ්වාසය ලබාදී ඇති අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මූලිකත්වය යටතේ සාගරික ආරක්ෂාව ශක්තිමත් කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව නිවැරදි මාවතක මෙහෙයවීමට මෙම සමුළුව තුළින් මනා පිටිවහලක් ලැබෙනු ඇත.

මෙම සමුළුව හෙට පස්වරුවේ අවසන්වීමට නියමිතය.

( ගාල්ල දිසා සමුහ නන්දසිරි වැලිගමගේ , හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ )