17072024Wed
Last update:Wed, 08 May 2024

අධ්‍යාපනයට වෙන් කළ විශාලම මුදල මෙවර

President7aඅධ්‍යාපනයට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් වෙන් නොකළ විශාල මුදලක් 2016 අය-වැය තුළින් අලුත් ආණ්ඩුව වෙන් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එය පසුගිය දශක කිහිපය තුළ වාර්ෂිකව වෙන් කළ මුදලට වඩා හතර ගුණයකින් වැඩි බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේ මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පෙරේදා (21) එක් වෙමිනි.

 විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ශිෂ්‍ය භට බලකායේ උත්තමාචාරය ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැන්විණි. මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ 2014 වසරේ විශිෂ්ටතා දැක්වූ දරුවන්ට මෙහි දී ජනාධිපතිතුමා සුරතින් තිළිණ ප්‍රදානය කෙරුණු අතර පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ටද තිළිණ ප්‍රදානය කෙරිණි. එමෙන්ම නිවාඩු නොලබා කැපවීමෙන් සේවය කළ ගුරු භවතුන්ද මෙහි දී ඇගැයීමට ලක් කෙරිණි.

විදුහල්පති සිසිර ගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන් වූ අතර ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීම ද සිදු විය. අධිෂ්ඨානයෙන්, සහ කැපවීමෙන් ජීවිතය ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිතුමා පොළොන්නරුව වැනි ඈත දුෂ්කර ප්‍රදේශයක වෙළේ, ඉපනැල්ලේ සුවඳ සහ දුහුවිල්ල සමඟ හැදුණු වැඩුණු සාමාන්‍ය පුරවැසියකු වන තමා රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කර ගත්තේ තමා තුළ තිබෙන එම නොපසුබට අධිෂ්ඨානය, කැපවීම සහ අවංක භාවය නිසා බව ද දරුවන්ට අනාවරණය කළේය.

දරුවන් සමාජය තුළ මුහුණදෙන ඛේදවාචකයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් අතර දැනට වඩා සංවාදශීලී අවස්ථා ඇති කරමින් සුහදතාවය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා කීවේය.

රටක වඩ වඩාත් උගතුන් බිහිවීම තුළ එම රට සමෘද්ධිමත්වන බව කී ජනාධිපතිවරයා ආණ්ඩුවක් ලෙසත් එහි පාලකයන් ලෙසත් රටේ දරුවන්ටත්, ජනතාවටත් ලබාදිය හැකි ඉහළම දායාදය වන්නේ රටේ ජනතාව දැනුමෙන් පෝෂණය කිරීම බව පැවසීය. ඇමැති සුසිල් ෙප්‍ර්මජයන්ත මහතා සහ පළාත් සභා මැති ඇමතිවරු පිරිසක්ද, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, දෙමාපියන්, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.