17072024Wed
Last update:Wed, 08 May 2024

බුදු දහම බෙදන කේන්ද්‍රස්ථානය බවට සාංචිය පත්කරමු

Thiniyawala Palitha Theraශ්‍රී ලංකාවේ සංස්කෘතියට හා ශිෂ්ටාචාරයට මුල පිරුණේ සාංචි පුද බිම හරහා බැවින්, යළිත් මුළු මහත් ලෝකයටම බුද්ධ ධර්මය බෙදා හරින කේන්ද්‍රස්ථානයක් බවට සාංචිය පත් කරලීම සඳහා දායකත්වය ලබා දීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක් බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ නියෝජ්‍ය මහලේකම්, චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති සහ නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සාංචි පු‍ණ්‍යමහෝත්සව සංවිධායක කමිටුවේ විශේෂ රැස්වීමක් අමතමිනි.

මේ මස 28 සහ 29 දෙදින තුළ දඹදිව සාංචි නුවර චේතියගිරි විහාරස්ථානයේ පැවැත්වෙන අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය සහ සාංචි පුණ්‍යමහෝත්සවය පිළිබඳ සංවිධානය කාර්යයන් සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබුණු මේ කමිටු රැස්වීම අමතමින් පාලිත හිමියන් අවධාරණය කළේ ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැංවීමේ පදනම ලෙස මහින්දාගමනය සැලකිය හැකි බවය.

මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කළේ සාංචි නුවර සිට බැවින්, ශ්‍රී ලංකාව සහ සාංචිය අතර ඇත්තේ බිඳිය නොහැකි ශක්තිමත් සම්බන්ධතාවක් බව ද, මිහිඳු හිමියන් බුදු දහම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමත් සමඟ විවිධ කලාවන් සහ නිපුණතාවන් පෝෂණය වූ බවද සඳහන් කළ පාලිත හිමියෝ මෙසේද සඳහන් කළහ.

“කාලයාගේ ඇවෑමෙන් දඹදිව බුද්ධ ශාසනය පිරිහී ගියා. පසුව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මහාබෝධි සංගමය ආරම්භ කර යළි ඉන්දියාවේ බෞද්ධ ප්‍රබෝධයකට මුල පිරුවා. ආචාර්ය අම්බෙඩ්ක්කර් නිසා මේ පිබිදීම ඉන්දියාව පුරා තව තවත් ව්‍යාප්ත වුණා. මේ වන විට මහාබෝධි සංගමයේ අපට සතුටු විය හැකි මට්ටමකට ඉන්දියාව පුරාම බෞද්ධ ප්‍රබෝධයක් පවතිනවා.

මේ පසුබිම මත දැන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සාංචිය කේන්ද්‍ර කොට ගෙන ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් ඉදි කිරීමේ කාර්යයන්ට මුල පුරා තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ඔස්සේ මුළු මහත් ලෝකයටම ධර්ම බෙදා හරින කේන්ද්‍රස්ථානයක් බවට සාංචිය පත් කරලීම අපේ අරමුණයි. මේ අරමුණ ජයගැනීම සඳහා හැකි ශක්ති ප්‍රමාණයෙන් සහාය ලබා දීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක් සේ මම සලකනවා” යැයි පාලිත හිමියෝ පැවසූහ.