17072024Wed
Last update:Wed, 08 May 2024

විග්නේෂ්වරන්ගෙන් ජනපතිට හදිසි ලිපියක්

vigneessvrnබන්ධනාගාරවල නිරාහාර උපවාසයක නිරත දෙමළ දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරණ මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අද ජනාධිපතිවරයාට හදිසි ලිපියක් යවා තිබේ.

තමන් ඇතුලු උතුරු පළාත් සභාවේ පිරිසක් ජනාධිපතිවරයාව හමුවුණු අවස්ථාවේදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම ලබන 19 වෙනිදා දක්වා කල් තබන ලද බව ප්‍රකාශ කරණ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයා ඒ දක්වාම සිරකරුවන් පිරිස උපවාසයේ යෙදුණහොත් ඇතැම් විට ඔවුන්ගෙන් කීපදෙනෙකු මියයන්ට ඉඩ ඇතැයිද සිය ලිපියේ සදහන් කොට තිබේ.

යම්හෙයකින් උපවාසයේ නිරත දෙමළ දේශපාලන සිරකරුවන් එක් අයෙකු හෝ මියගියහොත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළින් රජය කෙරෙහි විශාල අපකීර්තියක් හා අපවාදයක් පැමිණෙන්නට ඉඩ ඇති බැවින් වහාම මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගන්නා මෙන්ද උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඔවුන් කුමන ක්‍රමයක් මත හෝ නිදහස් කිරීමට පෙර ඔවුන්ගේ නිරාහාර මාරාන්තික උපවාසය හමාර කරවා ගැනීමට මේ අවස්ථාවේදී රජය පාර්ශ්වයෙන් යම් පොරොන්දුවක් හෝ අවශ්‍යව ඇතැයි ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සදහන් කොට තිබේ.

මේ අතර මැගසින් බන්ධනාගාරය තුළ නිරාහාරව උපවාසයක නිරත දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් 16 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් වහාම රෝහල් ගත කළයුතු තත්ත්වයක සිටින බවත් සිරකරුවන් හමුවීමට ගිය නීතිඥ වී.එස්.නිරන්ජන් ප්‍රකාශ කළේය.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිතර නිතර පැමිණ මෙම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලූවද දැනට මෙම නිරාහාර උපවාසයට දින අටක් ගත වී ඇති බැවින් ඔවුන් පිළිබදව යම් තීරණයක් ගැනීමට කවරෙකු හෝ මැදිහත්වීමට සුදුසු කාලය එළඹ ඇතැයිද නීතිඥ නිරන්ජන් වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ නීතිඥවරයා පවසන අන්දමට උපවාසයේ නිරත සිරකරුවන්ගෙන් අසාධ්‍ය මට්ටමේ කිසිදු සිරකරුවෙකු බන්ධනාගාර තුළ නැති බවය.

මීට දින කීපයකට ඉහතදී උපවාස කරුවන්ගෙන් අට දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු බවත් ඔවුන් බන්ධනාගාර රෝහලට යවා ඔවුන්ට සේලයින් ලබාදුන් බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

දිනපතාම කීපවරක් මෙම සිරකරුවන්ගේ තත්ත්වය බන්ධනාගාර රෝහල්වල සිටින වෛද්‍යවරුන් විසින් සොයා බලන බව කී කොමසාරිස් ජනරාල්වරයා යම් අයෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයකට පත්වන්නේ නම් එවැනි අය ඉතාම ඉක්මනින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන බවද පැවසීය.

මේ වන විට උපවාසයේ නිරත සිරකරුවන්ගෙන් කිසිවෙකුත් රෝහල්ගත කොට නොමැති බවත්,එසේ කිරීමට තරම් කිසිවෙකුත් ඉතා අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් මෙම දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස නිදහස් කරගැනීමට ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පිරිසක් අද පස්වරුවේ වවුනියාවට එක්වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ.