17072024Wed
Last update:Wed, 08 May 2024

ජාත්‍යන්තර නෞකාවලට ආරක්ෂාව සැපයීමේ දී අඩුපාඩු සිදුවී නැහැ

aventඇවන්ගාඩ් ආයුධ නෞකාවේ ආයුධවල භාරකාරත්වය නාවික හමුදාවට භාරගැනීමෙන් පසු ජාත්‍යන්තර වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයීමේ කටයුතුවල කිසිදු අඩුපාඩුවක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

නාවික හමුදාව යටතේ පසුගිය දින දෙක තුළ එවැනි ජාත්‍යන්තර වානිජ නෞකා අසූ අටකට පමණ ආරක්ෂාව සපයා ඇතැයිද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා තවදුරටත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කියා සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත රක්නා ලංකා සමාගම සමඟ එක්වී නාවික හමුදාව විසින් මෙම ව්‍යාපාර කටයුත්ත ඉතාමත් සාර්ථක අන්දමින් සිදුකරගෙන යන බවද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

ඇවන්ගාඩ් සමාගමේ සේවයේ නියුතු පුද්ගලයන්ගේ රැකියා අහිමි වන බවටත් මෙම සමාගමින් නියමිත ආරක්ෂක කටයුතු ලබාගත් ජාත්‍යන්තර නෞකා එම සමාගමෙන් ඉවත්ව වෙනත් ආරක්ෂක සමාගම් වෙත යන බවටත්, තවත් ජාත්‍යන්තර නැව් ඉවත්වන බවටත් සිදුවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් දැනගැනීමට නැතැයි පවසන ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේදී මේ පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බවද කියා සිටියේය.

නාවික හමුදාව යටතට පත්ව තිබෙන ඇවන්ගාඩ් සමාගමට අයත් මහනුවර නෞකාවේ තිබෙන අවි ආයුධ විශාල ප්‍රමාණයක වගකීම නාවික හමුදාවට පැවරීමෙන් පසු එම අවි ආයුධ සියල්ලම නාවික හමුදා දක්ෂිණ ආයුධ ගබඩාවේ තැන්පත් කර නාවික ආරක්ෂාව යටතේ ඒවා නිකුත් කිරීම සහ ආපසු ගබඩා කිරීම ඇතුළු සියලු දෑ සිදුවේ.

ඇවන්ගාඩ් සමාගමට මෙම ආයුධ තොග වාණිජ නෞකා වෙත ආරක්ෂාව සඳහා ගෙනයාම සහ ආපසු ගෙන ඒම සිදුකළේද නාවික හමුදාව මගින්ය. ඒ අනුව එම කර්තව්‍ය සිදුවන්නේ ඒ ආකාරයටමය. නාවික හමුදාවේ භට පිරිස් මෙම ආයුධ තොග දක්ෂිණ ආයුධ ගබඩාවේ තවදුරටත් ආරක්ෂාව සඳහා ගබඩා කරමින් සිටී.