17072024Wed
Last update:Wed, 08 May 2024

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දෙයි

027 1140x844පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට කළහැකි, කළයුතු සෑම කාර්යයක්ම ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

 උන්වහන්සේ ප්‍රාර්ථනා කළ සාධාරණ සමාජය මෙන්ම යහපාලන රාජ්‍ය තන්ත්‍රයක් රට තුළ ගොඩනැගීමට උපරිමයෙන් කැපවන බවට ද ජනාධිපතිතුමා සපථ විය.

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (12) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර එම අදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත්වීම රටට, සමාජයට මෙන්ම සමස්ථ ලක්වැසි ජනතාවටම සිදුවූ බලවත් පාඩුවක් බව සඳහන් කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ චින්තනය සහ දැක්ම ඉදිරියට ගෙන යාමට කැපවීම උන්වහන්සේට කළ හැකි ඉහළම ගෞරවය බවද ප්‍රකාශ කළේය.

තමා ජනාධිපති ධූරයට පත්වූයේද යුගයට අවශ්‍ය මහා යුග මෙහෙවරක් ඉටුකළ සෝභිත හිමිපාණන් වහන්සේගේ දැඩි අධිෂ්ඨානය තුළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්වූ ජාතික ආණ්ඩු සංකල්පයද උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ගොඩනගන ලද්දක් බව ප්‍රකාශ කළේය.

යුද්ධය පැවති කාලයේ සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් බේදයකින් තොරව පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද , සර්ව ආගමික පූජකවරුන්ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුද, විදේශ තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

04 05 06 07 08 10 11 12 13 15 17 19 21
01