17072024Wed
Last update:Wed, 08 May 2024

නීත්‍යානුකූල ව්‍යුහයකට සිරකරුවන්ට නිදහස

tna Nov13දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට තමන් තුළ දැඩි කැමැත්තක් ඇති නමුත් ඒ සදහා බලපා ඇති තවත් හේතු ගණනාවක් ඇති හෙයින් මෙම පිරිස නිදහස් කළ යුත්තේ නීත්‍යානුකූල ව්‍යුහයක් යටතේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලු පළාත්සභා අමාත්‍යවරුන්ට ප්‍රකාශ කළ බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පැවසීය.

උතුරු පළාත්සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් සමග ජනාධිපතිවරයා නිල සාකච්ඡාවක් කළ ප්‍රථම අවස්ථව මෙයයි.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ දෙමළ දේශපාලන සිරකරුවන් 262 දෙනා නිදහස් කරගැනීම පිළිබදව යැයි සත්‍යලිංගම් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබන 16 වෙනිදා තමන්ට භාරදෙන බවත් එම වාර්තාවේ සදහන් කරුණු ගැන සලකා බලා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් යැයිද අමාත්යවරයා සදහන් කළේය.

දෙමළ දේශපාලන සිරකරුවන් 32ක් පසුගිය 11 වෙනිදා ඇපමත නිදහස් කළ ආකාරයට පියවරෙන් පියවර ඉතිරි පිරිස නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකග වුවත් සියලු දෙනාම නිදහස් කොට අවසන් වන දිනයක් ගැන ස්ථිර වශයෙන් යමක් කීමට නොහැකි වග ජනාධිපතිවරායා ප්‍රකාශ කළ බවද වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී මෙම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට පොදු සමාවක් ලබාදුන් ආකාරයටත්,යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ.සාමාඅජිකයින් 12000 ක් පුනරුත්ථාපනය කොට නිදහස් කළ ක්‍රමවේදය මෙන් ක්‍රමයක් අනුගමනය කරණ ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටි බවද සත්‍යලිංගම් අමාත්‍යවරයා පැවසීය.

තමන් එවැනි ක්‍රමයකට කැමති නමුත් ඒ සදහා වෙනත් හේතු ඇති බව ජනාධිපතිවරයා පැවසුවේ එම ඉල්ලීම කළ අවස්ථාවේදී බවද සත්‍යලිංගම් අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර උතුරු පළාත් සභාව වෙණුවෙන් ඉටු වියයුතු තවත් යෝජනා කීපයක් ගැනද ජනාධිපතිවරයා සමාග සාකච්ඡා කළ බවද ඔහු කීය.

අධි ආරක්ෂිත කලාප,යුද්ධයෙන් අවතෑන්වූවන් යළි පදිංචි කරවීම වැනි දේ ඒ අතර වූ බව සදහන් කළ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සාකච්ඡාවෙන් පසුව අමාත්‍යවරුන් හතරදෙනා මැගසින් බන්ධනාගාරය වෙත ගොස් දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් කීපදෙනෙකුම හමුවූ ඔවුන්ගේ තත්ත්වය ගැන සොයා බැලූ අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් හතරදෙනෙකු හැර සෙසු පිරිස දින පහක් තිස්සේ නිරාහාරව උපවාසයක නිරතවෙමින් සිටි අන්දම දැකබලා ගැනීමට හැකි වූ බවද සත්‍යලිංගම් පැවසීය.

වෙනත් රැස්වීම් දෙකක් තිබුණු හෙයින් ප්‍රධාන අමාත්‍යයවරයාට එහි යාමට නොහැකි වූ බව කී ඔහු දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් මැගසින් බන්ධනාගාරයේදී උපවාසයට එක්වූ සිරකරුවන් නවදෙනෙකු රෝහල් ගත කොට සිටින බව ප්‍රධාන ජේලර්වරයා පැවසූ බව ද කියා සිටියේය.

වසර 19දී බන්ධනාගාර ගතවූ අයෙක් කිසිදු නඩු පැවරීමකින් තොරව වසර 26 ක් තිස්සේම බන්ධනාගාර ගත වී සිටින අතර වයස අවුරුදු 73 ක පුද්ගලයෙකුද රැඳවූවෙකු වශයෙන් නඩු පැවරීමකින් තොරව සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් අද යාපනයට ගිය අවස්ථාවේදී යුද සමයේදී පුද්ගලයින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මුහුණේ කලුරෙදිපටි බැදගෙන විරෝධතාවයක නිරත වී සිටි අතර විරෝධතාවය දියත් කළ පිරිස කියා සිටියේ අතුරුදහන් වූවන් පිළිබදව කරුණු සොයා බැලීමට දේශීය හා විදේශීය නියෝජිතයින් වසර ගණනාවක්ම තම පළාත්වලට පැමිණ තොරතුරු රැස්කරණ ලද නමුත් ඉන් තමන්ට සිදු වූ යහපතක් නොමති බවයි.