17072024Wed
Last update:Wed, 08 May 2024

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට ….

026 1140x1061කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහාජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ආසියාවේ ප්‍රථම විශ්ව විද්‍යාලය වූ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ආදර්ශ කර ගනිමින් අක්කර පනහකට ආසන්න වපසරියකින් යුත් කැළණිය. මානෙල්වත්ත විහාරස්ථාන භූමියේ මෙම විශ්ව විද්‍යාලය ඉදි කෙරේ.

2013 වසරේ මේ සඳහා මුල් ගල් තැබුණු අතර 2016 වසරේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.

පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණ, දේශනශාලා සංකීර්ණ, අංග සම්පූර්ණ පුස්තකාලයක්, 1500 කට පමණ පහසුකම් සහිත ශ්‍රවණගාරයක්, ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ දෙස් විදෙස් ශාස්ත්‍ර ගවේෂකයින් 750 ක් දෙනා සඳහාඅවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු අවශ්‍ය සියලූ පහසුකම් ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ සැළැස්මට ඇතුළත්ය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය දැනටමත් බෞද්ධ අධ්‍යාපන පාඨමාලා පවත්වාගෙන යනු ලබන අතර දෙස් විදෙස් සිසුන් තුන්සියයක් පමණ දැනට එහි බෞද්ධ අධ්‍යාපනය ලබති. ඉන්දියාව, ඉන්දුනිසියාව, තායිලන්තය, බුරුමය, හොංකොං, චීනය වැනි රටවල ගිහි පැවිදි දෙපක්ෂයම ඒ අතර වේ.

විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රවිණ විද්වතුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ අධ්‍යාපන ආයතනය ක්‍රියාත්මක වන අතර බෞද්ධායුර්වේද මනෝකායික චිකිත්සා සහ උපදේශන ඩිප්ලෝමා පාඨාමාලාව, බෞද්ධ සංස්කෘතිය හා පාරම්පරික විද්‍යාවන් පිළිබඳ ඩිප්ලෝමා පාඨාමාලව, බෞද්ධායුර්වේදීය වෘද්ධත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨාමාලව, ආයුර්වේද ශාස්ත්‍ර පාඨමාලාව යන පාඨමාලා දැනට මෙහි හැදරීය හැකි අතර උසස් උපාධිය දක්වා මෙම පාඨමාලා හැදීරීමේ පහසුකම් සපයා ඇත.

ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් නිරික්ෂණය කළ ජනාධිපතිතුමා එහි ඉදිරි සැලසුම්ද පරික්ෂා කර බැලීය.

හිටපු ජනාධිපති ශ්‍රීමත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ එම ආර්යාව විසින් 1962 වසරේදී මානෙල්වත්ත විහාර භූමිය සසුනට පූජා කර තිඛෙන අතර එම පූජා කිරීමේ ඔප්පුවේම මෙම විහාරස්ථානය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් විය යුතු බව සඳහන් කර තිබේ. එකී අරමුණ ඉටු කරමින් ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මෙම විශ්ව විද්‍යාලය ඉදි කෙරේ.

නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැළණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමිපාණන් වහන්සේද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග සහ ජගත් සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

03 04 07 08