17072024Wed
Last update:Wed, 08 May 2024

ජනතාවට වගකියන ආණ්ඩුවක්

ajith pereraනීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීමෙන් තහවුරු වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවට වගකියන ආණ්ඩුවක් බව යැයි විදුලිබල හා බලශක්ති නි‍යෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මතුවන සමාජ කාරණා හමුවේ ජනතා මතයට හිස නමමින් තිලක් මාරපන මහතා ඉල්ලා අස්වීමට කටයුතු කළ බවත් එයින් තහවුරු වන්නේ මේ ආණ්ඩුව ජනමතයට ගරුකරන, සෞඛ්‍ය සම්පන්න ආණ්ඩුවක් බව යැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරේදා (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ යහපාලනය අගයන රජයක් ලෙස වගවීම, වගකීම සෑම තලයකටම එක සේ යොදවන බවයි‍.

එමෙන්ම වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සම්පන්න ආණ්ඩුවක් බැවින් ඇතැමුන් අපේක්ෂා කරන ආකාරයට කඩා නොවැටෙන අතර ශක්තිමත් ලෙස ඉදිරි වසර පහේ ක්‍රියාත්මක වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

රාජ්‍ය ආයතනවලට සිදුකරන පත්කිරීම් සම්බන්ධයෙන් යම් යම් ගැටලු පවතින අතර මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.